ජිප්සීස් සහ සුනිල්: "අමතක කරන්නෙපා... මාව මතක තියාගෙන ඉන්න සිතේ"

Published
කියවීමේ කාලය: මිනිත්තු 8

අද (සැප්තැම්බර් 6 දා) උදෑසන වියෝ වූ ජ්‍යෙෂ්ඨ කලා ශිල්පී සුනිල් පෙරේරා ගැන හිතවත් කලාකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහන් කිහියක් බීබීසී සිංහල සේවයේ ඇස ගැටුණි.

ප්‍රවීණ නිළි ශ්‍රියානි අමරසේන ෆේස්බුක් සටහනක් තබමින් පැවසුවේ:

"පසුගිය සිංහල අවුරුදු වෙනුවෙන් හිරු chat & Music වෙනුවෙන් අපේ හමුව..සුනිල් ගිත කිපයක්ම ගායනා කළා.. තම පවුලේ තොරතුරු ප්‍රකාශ කළා.." මල්බර හිමිදිරියේ කොයිබද සමනලියේ" ගිතය ඔහු අප සැම දෙනා සමගම ගායනා කළා.. අපි හැමදෙනාම සතුටු වුණා..ඒ තමා මා සුනිල් මුනගැසුන අවසන් අවස්ථාව ...සුබ ගමන් සුනිල්..."

කණ්ඩායම් සංගීතයේ තවත් ප්‍රමුඛයෙකු වූ මේරියන්ස් නායක නලීන් පෙරේරා තැබූ සටහන:

මගේ ආදරණීය සුනිල් අයියා ... මගේ ගමනේ ආරම්භයේ සිටම ඔබ සැම විටම මා සමඟ සිටියා ... හොඳ දවස්වලදී මෙන්ම නරක දවස් වලදී ද ... ඔබේ දිරිගැන්වීම සහ කිසි දිනෙක අත් නොහරින ආදරය නොමැතිව මේ කිසිවක් සිදු විය නොහැක. මෙම හිස්තැන කිසි දිනෙක පුරවන්නේ බැරිවෙයි ... සෑම දිනකම ඔබ නැති අඩුව දැනෙනු ඇත, සුනිල් අයියා ... ඔබව ලැබීමට තරම් දෙව්ලොව වාසනාවන්තයි

දුලීකා මාරපන තැබූ ෆේස්බුක් සටහන:

"පෞරුෂයක් අපට අහිමිවිය . සුනිල් අයියේ ඔබටද මේ භූමිය කුඩා වැඩිය... සිහියට එන්නේ නන්දා මාලනියගේ ගීත ඛණ්ඩයකි. මැරුනත් මේ බිමේ , මේ මනරම් සමේ , උපදින්ට මතු වාසනා Deepest sympathies."

"සුනිල් අයියා !! ලංකාවේ එක් දැවැන්ත සංගීත හා සාමාජීය සංස්කෘතික යුගයක් !!! අප කුඩා කල සිට ඔබ අපව දැන නොසිටියත්, සුනිල් පෙරේරා කියන්නේ අපි පොඩිකාලේ ඉඳන් අපේ ගෙවල්වල අපිත් එක්ක හිටපු කෙනෙක්. අපිව දුකේදී සතුටු කරපු කෙනෙක්. අලුත් දේවල් හදන්නේ, බය නැතුව වැඩරකන්නේ මෙහෙමයි කියා උගන්වපු කෙනෙක්. කෙටියෙන් කියනවනම් අපේ ජීවිත වලටත් මුළුමහත් ලංකාවේ අයටත් සමීප කෙනෙක්, යාලුවෙක්.

ඔබ අපව මුලින්ම හඳුනාගන්නේ අප මේ සංගීත ගමන පටන්ගත් අවුරුද්දේ, ඒකියන්නේ සමහර ජෙෂ්ටයි කියන අය අපි ගැන මොකොවත් හොයන්නේ නැතුව ඔහේ බනින දවස්වල. අපට තවමත් මතකයි ඔබ අපට එදා සිට අප වෙනුවෙන් කතා කල හැටි. අප සමග හමුවූ හැම වෙලාවකම අපව දිරිමත් කල හැටි. "

ඒ භාතිය හා සන්තුෂ් තැබූ ෆේස්බුක් සටහනයි.

ගායිකාවක් වන සුභානි හර්ෂනී මුතුකුමාරණ ද සටහනක් තබමින්, "දැවැන්ත සංගීතවේදියෙක් , ගුරුවරයෙක් , සහෝදරයෙක් සහ මානව හිතවාදියෙකුගේ නික්මයාම.. ඔබට නිවන් සුව සුනිල් අයියා." යැයි පැවසුවාය.

ප්‍රවීණ චායාරුප ශිල්පියකු සහ ගායකයකු වන දයාන් විතාරණ තැබූ සටහන:

'ඔබ ළඟින් ඉන්නම්' කියා 'කුමක් කියන්නට ද සැරසුණේ' ............

කවදා කොයිවදි යළි හමුවේවිදැයි කියා පැනයකි මා සිත පාරන්නේ .....................

දැයම සෙත් පැතූ මොහොතක ඇයි ඔබ අප හැර යන්න ගියේ ......................

ආදරණීය සුනිල් අයියේ, ඔබේ ගුණ රුව සුවඳ 'තවමත් මගෙ මතකයේ රැඳේ ...................'

ජනකාන්ත ගායකයෙක්, රංගන ශිල්පියෙක් මෙන්ම "ජිප්සීස්" සංගීත කණ්ඩායමේ නායකයා ද වූ සුනිල් පෙරේරා ඉකුත් කාලයේ කොරෝනා ආසාදිතව සුව ලබා නැවත නිවෙසට පැමිණිය ද ඊයේ රාත්‍රියේ ඇතිවූ නිව්මෝනියාව තත්ත්වයක් නිසා ඔහු සදහටම අපට අහිමි විය.

ශ්‍රී ලංකේය කලාකරුවන් අතරින් ජනප්‍රිය මෙන්ම ආන්දෝලනාත්මක චරිතයක් වන ඔහු ඉතා විවෘතව සිය අදහස් ප්‍රකාශ කළ ගායකයෙකි. ජනප්‍රිය ගීත සමුදායකම හිමිකරු වන ඔහු "වන් ෂොට් වන්" චිත්‍රපටයේ පුෂ්පකුමාර නම් අමාත්‍යවරයෙකුගේ චරිතයක් ද රංගනය කළ අතර තවත් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට කිහිපයක පමණක් ඔහු නළුවෙක් ලෙස ද දක්නට හැකිවිය.

"ලොරෙන්සෝද අල්මේදා කොලොම්තොටට.........", "හිරු කුමරුන් නිදි යහනට........", "හිත හොඳකම වැඩි හින්දම........", "හොඳ වැඩක් කරන්නට........", "සයිමා කට් වෙලා..........." වැනි ගී සමුදායක් ගයා ඇති ඔහුගේ ගීත අතර මා වැඩියෙන්ම ප්‍රිය කරන්නේ "ඔබ දුටු ඒ මුල් දිනේ........" සහ "ඔබ ළඟින් ඉන්නම්........" ගීත යුගලට ය.

උපතින් කතෝලිකයෙකු වුවත් බුදු දහමට ඔහු දක්වන ගරුත්වය සහ සමීප බව අගය කළමනා ය. "ශක්තිය ඔබයි අම්මේ" චිත්‍රපටය වෙනුවෙන් ගැයූ "ලෝ මුදුනේ........." ගීතය ගයමින් සිනමා පසුබිම් ගීතයට අවතීර්ණ වූ ඔහු ඉන්පසු මෑතක තිරගත වූ "කෝ මාක් නෝ මාක්" චිත්‍රපටයේ විජය නන්දසිරි වෙනුවෙන් ඔහු ගැයූ "පක්ෂියා රජ වුණු දවසට ලක්ෂෙට කොඩි වැනේ........." නම් ගීතය මතකයේ රැඳේ. ඉකුත් 2019 වසරේ ඔහුගේ උපන්දිනයට දෙදිනකට පෙර තිරගත වීම ඇරඹුණු "ජය ශ්‍රී ඇමතිතුමා" චිත්‍රපටයේ ද ඔහු ශ්‍රියන්ත මෙන්ඩිස් වෙනුවෙන් "දියවන්නාවේ........" නම් ගිතයක් ගායනා කළේය.

කාගේත් සතුටකදී කැපී පෙනෙන චරිතයකට වඩා විපතේ දුකේදී පිහිටට එන චරිතයක් ලෙසින් සුනිල් අයියා ප්‍රකට අතර ඉකුත් වසරකදී ඔහු අප අතරින් අකාලයේ නැසීගිය ජයන්ත රත්නායකයන් සුජීවත් කල ඔහු වෙනුවෙන් පැවැත්වූ "ජයන්ත වෙනුවෙන් අපි" ප්‍රසංගයේ ද ගීත ගායනා කළේය.

ඔහු මරියසෙල් ගුණතිලක සමග ගයන "දෙමව්පියන්ගේ කීම අසාලා........", රාජ් සෙනෙවිරත්න සමග ගයන "අයියයි මල්ලියි වගේ.........", රජිව් සෙබස්තියන් සමග ගයන "අපි වන්දනාවේ යමු බැතියෙන්........." වැනි ජනප්‍රිය යුග ගීතයන් ද රාශියක් වේ. ඔහු ජනප්‍රිය යොවුන් ගායක ගයාන් පෙරේරාගේ පියාණන් ය.

ඉතා සෘජුව තම අදහස් ප්‍රකාශ කරන්නෙකු වන සුනිල් අයියාගේ හිතේ කිසි දින කහටත් නැත. ඔහුගේ සිතට එන දුක ද, සතුට ද එකලෙස ඔහු ප්‍රකාශ කරන අතර ඔහුගේ ඇතැම් ප්‍රකාශයන් ආන්දෝලනාත්මක වන්නේ ද ඔහු තම සිතෙහි උපන් සිතුවිලි නොසඟවා පවසන නිසාවෙන් ම ය. ඉතා සරල ලෙස ගුණගරුකව ජීවත් වන ඔහු ආධුනික ශිල්පීන් හට පවා නිර්ලෝභීව අතහිත දෙන ඔහු සමාජයට හදවතින්ම ආදරය කරන සත්පුරුෂ කලාකරුවෙකි.

සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගමය විසින් පසුගිය 2019 වසරේ අපේ ගම පරිශ්‍රයේ පැවැත්වුණු සංගීත ප්‍රසංගය සඳහා මා සහභාගී වූ අවස්‍ථාවේ මට ඔහු මුණගැසුණු අතර එදින ගත් ඡායාරූපයක් ද මේ සමග ගෙන එමි.

ඔහු ගැයූ වේග රිද්ම ගීතයන්ට වඩා ගැඹුරක් අරුතක් පවත්වාගෙන ගිය ඔහු අතිශය සාධාරණ කලාකරුවෙකු ලෙස ප්‍රකට වන්නෙ ඔහු නිසි ලෙස තම ගීතාවලියේ පද රචකයන් වෙනුවෙන් කර්තෘ භාගය මාස්පතා ගෙවන ක්‍රමවේදයක් සකසාගෙන එය මේ මියෙන මොහොත දක්වාම අඛණ්ඩව කරගෙන පැමිණි බැවිනි. කොරෝනා මාරයා සමග හුස්ම යදිමින් ඔහු ලෙඩ ඇඳේ සටන් කරන විට පවා ඔහු වෙනුවෙන් ගී නිර්මාණය කළ පිරිස් වෙනුවෙන් කර්තෘ භාගය නියමිත වේලාවටම ලැබෙන ක්‍රමවේදයක් ඔහු සකස් කර තිබුණි. එය බොහෝවිට විට නැටුම් ගැයුම් මැද අප දුටු සුනිල් අයියාගේ නොදුටු මහා ගුණාංගයකි.

අවුරුදු 68 ක් යනු මෙවැනි සර්වකාලීන මිනිසෙකුට වයසක් නොවේ. අනෙක් අතට තම 69 වැනි උපන්දිනයට දින අටක් තියා, තම 70 වැනි සුවිසෙස් වියට වසරක් තියා ඔහු මෙලෙසින් අකාලයේ අපෙන් සමුගන්නේ මේ කොරෝනා මාරායා සමග කළ දිගු කාලීන සටනකින් හැකි උපරිම ශක්තිය වැයකොට දැරූ ප්‍රයත්නයේ වෙහෙස දරාගත නොහැකිව වීම මහත් ඛේදයකි. අද දැයක් මේ රෝ බියෙන් වෙළී 'උණු උණුවෙම කොත්තමල්ලි' බොන විට, 'සයිමා කට් වෙලා' යන ආකාරය දැකීමට තරම් ඔහුගේ ලාංකේය රසිකයන් වූ අප සිත් මෘදු නැත. එනිසා මගේ සංවේගය ගයාන් ඇතුළු ඔහුගේ පවුලේ සැමට මේ සමග දන්වමි.

ආදරණීය සුනිල් අයියේ, මතු දිනයක අපි නැවතත් හමුවන තුරු ඔබට සුව නින්දක් හිමිවේවායි පතන අතරම නිවන දුරු වුවත් එකී ශාන්තිදායක නිවනින්ම සැනසීම ලබන්නට කඩිනමින් ඔබට හැකිවේවායි පතමි !!!"

ඒ, දයාන් විතාරණ තැබූ දීර්ඝ සටහන ය.

මේ අතර සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම තම මුහුණුපොතේ තැබූ සටහනක්:

ස්ටෙෆනි සිරිවර්ධන පැවසුවේ, "ඇත්තෙන්ම ඉතාමත් කණගාටුදායක දවසක්. විශ්වාස කළ නොහැකියි... සුනිල් පෙරේරා ඉතා අපූරු මනුෂ්‍යයෙක් වන අතර ඔහුගේ සංගීතයෙන් පමණක් නොව කරුණාවන්ත හදවතින්, අධ්‍යාත්මික ගුණයෙන් සහ පුණ්‍ය කටයුතු වලින් මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත නගා සිටුවීමට බොහෝ දේ කළේය.""ඔබව දැන හඳුනා ගැනීම ගැන මම කෘතඥ වන අතර පසුගිය වසරේදී ඔබ හා ජිප්සීස් සමග සුළු වශයෙන් හෝ සමරන්න අපට හැකි වීම ගැන මම සතුටු වෙමි. ඔබව නැති අඩුව බොහෝ සෙයින් දැනෙනු ඇත.""යහපත්, කරුණාවන්ත, ආශ්වාදජනක මනුෂ්‍යයෙකු අපට අහිමි විය ... අපට පුරාවෘත්තයක් අහිමි විය ... සමාදානයේ සැතපේවා සුනිල් අයියා මේ කාලය තුළ ඔබේ පවුල වෙනුවෙන් යාච්ඤා කරනවා"

රංගන ශිල්පිනියක වන දිනක්ෂි ප්‍රියසාද් තැබූ සටහන:

"අනේ අපෙ පෙම්බර සයිමා කට් වෙලා... අද උදෑසන අවදිවනවිට ලද කණගාටුදායකම ප්‍රවෘත්තිය. සුනිල් මාමා, ඇත්තෙන්ම ඔබ නැති අඩුව දැනෙනු ඇත ඇත. ඔබේ ලස්සන ආත්මය සාමයේ සැතපේවා!"

මේ අතර හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේක ජයවර්ධන පවසන්නේ

"බොහෝම දුක්බර දවසක් !!! මගේ ප්‍රියතම විනෝදාස්වාදයන්ගෙන් එක් අයෙක් සහ මිතුරෙක්. සුනිල් අයියා සමාදානයෙන් සැතපෙන්න, මාගේ විශ්‍රාම දිවිය සඳහා ඔබ කළ විශේෂ සින්දුව ට සහ කළ දෑ කිසිදා අමතක නොවේ. ඔබ අපට සැපයු විනෝදයට ස්තූතියි."

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මෙසේ කීය.

"පුරාවෘත්තයක් නික්මගොසින්. ගීතයෙන් සහ රිද්මයෙන් අපව පෙලඹවූ කරුණාවන්ත, මෘදු හා ත්‍යාගශීලී පුද්ගලයෙක්. කුඩා ශරීරයක් නමුත් බලපෑමෙන් සහ හදවතෙන් දැවැන්තය. දැවැන්ත ප්‍රතිමාවක් නමුත් මට ඊටත් වඩා ආදරණීය මිතුරෙක්. සමාදානයේ සැතපේවා සුනිල් අයියා. අපට ඔබ නැති අඩුව දැනෙනු ඇත. ඔබ දැන් දේවදූතයන් සමඟ ගායනා කරනු ඇත!"

දේශපාලන විචාරක කුසල් පෙරේරා තැබූ ෆේස්බුක් සටහන:

"සුනිල්ගේ ගීත කලාව ගැන දළ අදහසක්

ජිප්සීස් සුනිල්ගෙ සංගීත භාවිතාව ගැන සමහර අය කතා කරන්නේ ඔහු බයිලා ගීත කලාවෙන් පෝෂණය ලැබූවකු යැයි කියමිනි.

මගේ දැනීමට අනුව නම්, සුනිල් හැදෙන්නේ 1961 නෙවිල් ප්‍රනාන්දුගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කෙරුණු ලතින් ඇමෙරිකානු සංගීත ආර සමගින් ගී තනු නිර්මාණය හා සංගීත සංයෝජන අත්හදා බැලූ ලොස් කැබලේරෝස් කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් මුදා හැරි කණ්ඩායම් ගීත ප්‍රවාහයේ බටහිර සංගීත කලාවට නතුවන තවත් එක් ප්‍රභේදයක් ලෙසින්ය.

ඔහුගේ සංගීත ආභාශය මා දකින්නේ ඉංග්‍රීසි පොප් සංගීතය ගුරුකොටගත් ජෙට්ලයිනර්ස් සංගීත කණ්ඩායමේ සිංහල අනුවර්තනයකින් ආරම්භ කෙරුනක් ලෙසය. අනතුරුව සිංහල ප්‍රේක්ෂකාගාරය සඳහා ප්‍රහසනය තම ගීතයට මුහු කරගත් දක්ෂ ප්‍රාසාංගික කලාකරුවෙකු ලෙසිනි. ජිප්සීස් සංගීත කණ්ඩායම අභිබවා ඔහු ස්වාධීන ගායකයෙකු ලෙස සිංහල සමාජයේ මතුවන්නේ ඒ ප්‍රහසනයෙහි වූ දේශපාලන වර්ණය හේතුවෙනි.

මෙය අද දවසේ සුනිල් ගැන කෙරුණු විවරණ හා කෙටි සටහන් කියවූ විට මගේ සිතට ආ දළ අදහසක් පමණි."

අනිද්දා පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජික කේ සංජිව තැබූ සටහන:

' අපිට කියන්න..' හිටපු කෙනා ගිහිං..!

උදේ නැඟිට්ට ගමන් මුහුනු පොතට එබෙන එක මොන පාපයක් ද කියලා ආයෙත් හිතුන දවසක් මේක. සුනිල් අයියා යන්න ගිහිං.. හැමතැනම ඔහුට සුබගමන් පතන පෝස්ටු ඇලවිලා. සුනිල් අයියට කොරෝනා කියලා දැනගත්තාම හිතට ආපු මුල්ම සිතුවිල්ල තමයි 'අයියෝ සුනිල් අයියට ඕක මොකද්ද? ' කියන එක. ඊළඟට සුනිල් අයියා ගිය බවට රාවයක් යනකොටත් හිතුනේ නෑ 'එහෙම වෙන්න බෑ' කියන එක. ඊට පස්සේ සුනිල් අයියා යතාවත් වෙලා කියලා ඇහුවාම ඔහුගේ සිංදුවක් ඇහුවා වගේ සන්තෝෂයක් ආවේ හිතට. ඒත් අද..!

ලුණුදෙහිවල ඉඳලා අපි සුනිල් අයියට ආදරේ කළා. ඔහුගේ සිංදු එකට අමුනපු නොනවතින මිහිර ට්‍රිප් යනකොට අරගෙන ගියා, සතුටු සාදවල ගැයුවා. අපේ කාලේ ජනප්‍රිය සංගීතයේ රජ්ජුරුවෝ තමයි සුනිල් අයියා. සුනිල් රසවතෙක් උනාට සුනිල්ට ආදරේ කළාට 'පුරවැසි බලයත්' එක්ක දේශපාලනය කරන්න එකතුවෙනකම් සුනිල් අයියා පුද්ගලිකව හඳුනගෙන හිටියෙනෑ. ඒත් මේ අලුත් දේශපාලන එකතුව නිසා සුනිල් අයියා නිතරම වගේ ගාමිණී අයියලගේ Gamini Viyangoda ගෙදරදි හමුවුණා. ඒ බොහෝ සන්ධ්‍යාවන් සුනිල සංගීතයෙන් සුනිල විහිළුවෙන් සුනිල කතාසරිත් සාගරයෙන් රස වුණා.

ඔහුට මේ කැත දේශපාලනය වෙනස් කරලා මේ රට වෙන තැනකට ගෙනියන්න, දියුණු රටක් කරන්න හීනයක් තිබුණා. ඔහු ඒක වෙනුවෙන් පුරවැසි බලයේ වේදිකාවට ආදරයෙන් සහ බොහෝම කැමැත්තෙන් ගොඩවුණා. මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් සෝපාස රසයෙන් කතා කළා. පවතින දේශපාලනය නිර්දය විදිහට සහ මිනිස්සුන්ට දැනෙන විදිහට විවේචනය කළා. ඔහු මෑත ගැයූ ගීතවලිනුත්, ඔහු මේ දේශපාලනය කරනවා අපිට පෙනුනා. ජනප්‍රිය තලයේ කලාව අස්සේ වැඩකරන බොහෝ දෙනෙක් දේශපාලන වැඩවලට එන්නේ නැති පසුබිමක සුනිල් අයියා තමන්ට තිබුණ හීනය වෙනුවෙන් තමන්ගේ අදහස්වලට ළඟ කණ්ඩායම් සමග එකට වැඩ කළා. ඇත්තටම ඔහුට මේ රට වඩා දියුණු සහ වඩා නිවැරදි රටක් කරන්න දිදුලන බලාපොරොත්තුවක් තිබුණා.. සුනිල් අයියා වැඩකරපු කලාපයේ එහෙම මිනිස්සු දුලබයි.

ඉතිං සුනිල් ගීතාවලියේ රහා වගේම සුනිල සන්ධ්‍යාවන්වල මිහිරි මතක හැමදාම අපි ළඟ තියේවි. ඔහු අපි වෙනුවෙන් හැමදාම ගයාවි. රඟාවි. විහිළු රඟපෑම් කරාවි. මේකත් එහෙම විහිළු රංගනයක් කියලා හිත හදාගන්න හිතුවා..! ඉතිං සුබ ගමන්..! අඩියක් ගහලා 'සයිමා කට්වෙලා' සිංදුව අහන්න අපිත් ඉක්මනට එන්නම්..!