ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලාංකිකයන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ලැබෙයි ද?
- Author, දැහැමි රණවීර
- Role, බීබීසී සිංහල
- Published
ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලබාගත් ශ්‍රී ලාංකිකයන් ලක්ෂ හයකට පමණ තවමත් දෙවෙනි මාත්‍රාව ලබා දීමට නොහැකි වී තිබේ.
පළමු එන්නත ලබා දීමෙන් පසු දෙවෙනි එන්නත සති 8 -12 අතර කාලයක් ඇතුළත ලබා දීමට ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ක්‍රියා කරන නමුත්, සති දොළහකට ආසන්න කාලයක් ගත වුණ ද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා ගත් ශ්‍රී ලාංකිකයන්ට දෙවෙනි මාත්‍රාව තවමත් ලැබී නොමැත.
මෙම පිරිස අතර සෞඛ්‍ය සේවකයෝ ද සිටිති.
ඉන්දියාවේ සීරම් ආයතනය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිෂ්පාදනය කළ අතර, පෙබරවාරි මස අගදී එම එන්නත් ලක්ෂ පහක් ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ලැබිණි. නමුත් මාර්තු මස වන විට ඉන්දියාව තුළ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් පැතිරී යාමත් සමග දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු විණි. ඒ හේතුවෙන් ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනය ද අඩාල විය.
ඉන්දියාව තුළ එන්නත්කරණය කඩිනම් කිරීමත් සමග එන්නත් වෙනත් රටවලට ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.
කෙසේනමුත්, ශ්‍රී ලංකාවට හැකි ඉක්මණින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ හයක් ලබා දෙන ලෙස ලොව වටා ශ්‍රී ලාංකික සංවිධාන සහ වෘත්තිකයින් එක්සත් රාජධානි රජයට ඉල්ලීම් ගණනාවක් යොමු කර තිබේ.
මේ වෙනුවෙන් Change.org වෙබ් අඩවියේ ආරම්භ කළ පෙත්සමකට අත්සන් 15,000ක් ද ලැබී තිබිණි. යම් පෙත්සමකට අත්සන් 10,000කට වඩා ලැබුණු විට Change.org වෙබ් අඩවියෙන් එම පෙත්සම අදාළ පාර්ශව වෙත යොමු කරනු ඇත.
"ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලක්ෂ හයක් ලබා දෙන්න කියලා අපි එක්සත් රාජධානිය අගමැති බොරිස් ජොන්සන්ගෙන් ඉල්ලීම් ගණනාවක් කළා. ඒ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලැබෙන තෙක් අපි බලාගෙන ඉන්නවා," සමාජ ක්‍රියාකාරිනියක වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවයට පැවසීය.
"එක්සත් රාජධානියෙන් මේ ඉල්ලීම කිරීමට හේතුවක් තියෙනවා. මීට සති කීපයකට පෙර ඔවුන් තීරණය කළා වයස අවුරුදු හතළිහට අඩු අයට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා නොදෙන්න. එකවර ප්‍රකාශ කළ මේ තීරණය නිසා එක්සත් රාජධානියේ එන්නත්කරණ මධ්‍යස්ථානවල එන්නත් අතිරික්තයක් තිබෙනවා. මේ විදිහට ඉතිරි වූ එන්නත් කල් පැනීමට පෙර අපි වගේ ඉතා ඉක්මණින් අවශ්‍ය රටකට ලබා දෙන්න කියලා ජාති බේදවලින් තොරව බොහෝ දෙනෙක් ඉල්ලීම් ගණනාවක් කළා.
අනෙක් රටවල් ඉල්ලා සිටින ගණන හා සංසන්දනය කර බලද්දී ලක්ෂ හයක් කියන්නේ කුඩා ගණනක්. ඉක්මණින් දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න බැරි වුණොත් රටක් හැටියට අපිට තවත් අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා", ඇය තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.
එක්සත් රාජධානිය තුළ එන්නත් අතිරික්තයක් තිබේද?
පසුගිය සතියේ පැවති G7 සමුළුවට පෙර ප්‍රකාශයක් නිකුත් කළ එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ "අප රට තුළ ඇති එන්නත් අතිරික්තය ඉදිරි සති කීපය ඇතුළත අඩු ආදායම්ලාභී රටවලට බෙදා දීමට ක්‍රියා කරන" බවය. එන්නත් මිලියන සියයක් මෙසේ බෙදා හැරීමට ක්‍රියා කරනු ඇත.
"එක්සත් රාජධානියේ එන්නත් වැඩසටහනේ සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් ලෙස අපගේ අතිරික්ත එන්නත් අනෙක් අවශ්‍ය රටවල් සමග බෙදා ගැනීමට අපට දැන් හැකි වී තිබෙනවා. එසේ කිරීමෙන් අපි මේ වසංගතය පරාජය කරන්න දැවැන්ත පියවරක් තබනවා," බොරිස් ජොන්සන් අගමැතිවරයා පැවසීය.
මේ අතර, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ද අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් 92කට සහ අප්‍රිකානු සංගමයට ෆයිසර් එන්නත් මිලියන 500 ක් ලබා දීමට පොරොන්දු වී තිබේ.
'එන්නත් ලබා දෙන්න'
එක්සත් රාජධානියේ එන්නත්කරණ වැඩසටහනට ද සම්බන්ධ ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් වන පූර්වි හේවා පතිරණගේ බීබීසී සිංහල සේවයට පැවසුවේ ඇය ඇතුළු බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා දෙන ලෙස අගමැති බොරිස් ජොන්සන්ගෙන් ඉල්ලීම් කළ බවය.
"පළමු මාත්‍රාවෙන් සති දාසයකට පසුව ශරීරරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට ප්‍රතිචාර දැක්වීම ක්‍රමයෙන් අඩු වේගන යනවා. අඩු වෙලා තියෙන වෙලාවක අර දෙවෙනි මාත්‍රාව ලබා දුන්නොත්, ප්‍රතිශක්තිකරණය සතුටුදායක මට්ටමකට වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා දෙවෙනි මාත්‍රාව නියමිත කාලය ඇතුළත ලබා දිය යුතුමයි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිසා කලාතුරකින් වාර්තා වූ ලේ කැටි ගැසීමේ තත්ත්වයක් හේතුවෙන් 40 අඩු අයට ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබා ගන්න කියලා බ්‍රිතාන්‍යය රජයෙන් නිවේදනය කළා. දැන් 40ට අඩු අය කිසිම කෙනෙක් ඇස්ට්‍රාසෙනෙකා ලබා ගන්නේ නැහැ. මේ හේතුව නිසා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මගේ වෛද්‍ය සායනය තුළ පවා ඉතිරි වෙලා තියෙනවා.
Change.org පෙත්සම අන්තර්ජාලය හරහා ආරම්භ කිරීමට මූලික වූයේ ද වෛද්‍ය පූර්වි හේවා පතිරණගේය.
"ලංකාවට එන්නත් ලබා දෙන්න කියලා එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීම් කළා. මේ සියල්ල ලැබුණු බවට අගමැති බොරිස් ජොන්සන් දන්වලා තිබෙනවා. නමුත් අපි ඉක්මන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටිනවා," ඇය තවදුරටත් පැවසීය.
මේ තොරතුරැ ද කියවන්න:
ඇස්ට්‍රාසෙනෙකා වෙනුවට ෆයිසර්?
ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට ඉදිරියේ දී ක්‍රියා කරන බව ඖෂධ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍යයට පැවසීය.
"මීට දින කීපයකට පෙර ජර්මනියේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල නිකුත් කළා. ඒ අනුව මාත්‍රා දෙකම ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගන්නවාට වැඩිය පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනෙකා ලබාගෙන දෙවෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීමෙන් වැඩි ප්‍රතිශක්තියක් ලැබෙනවා කියලා ඔවුන් පෙන්වා දීලා තියෙනවා," යැයි අමාත්‍යවරයා පැවසීය.
කෙසේනමුත්, එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් ලබා දීම සම්බන්ධයෙන් ලොව පුරා රටවල සිදුවන පරීක්ෂණවලින් මෙතෙක් වාර්තා වී ඇත්තේ විවිධ ප්‍රතිඵලය.
පළමු සහ දෙවෙනි මාත්‍රා සඳහා විවිධ කොවිඩ් එන්නත් මිශ්‍ර කළ හැකිද යන්න පිළිබඳ සායනික අත්හදා බැලීම් එක්සත් රාජධානියේ ද ක්‍රියාත්මක වේ.
මෙම පරීක්ෂණවල පළමු අදියරේ වාර්තාව මාර්තු මස දී නිකුත් කළේය.
එයට අනුව, ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් පිළිවෙලින් පළමු සහ දෙවෙනි මාත්‍රා ලෙස ලබාදීමෙන් පසු වැඩිහිටියන්ට සුළු හා මධ්‍යස්ථ අතුරු ආබාධ ඇති වීමට වැඩි ඉඩක් ඇති බව හෙළි වී තිබේ.
විවිධ එන්නත් මාත්‍රාවන් මිශ්‍ර කළ විට සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය සහ මාංශ පේශි වේදනාව වැඩි වශයෙන් වාර්තා වී තිබේ.
කෙසේනමුත්, මෙයින් ඇතිවන අහිතකර ප්‍රතික්‍රියා කෙටි කාලීන වන අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වී නොමැත.
පරීක්ෂණයේ සම්පූර්ණ ප්‍රතිඵල ජුනි හෝ ජූලි මාසය වන විට වාර්තා කළ හැකි බව පරීක්ෂකයෝ පවසති. කෙසේනමුත්, මෙම අධ්‍යයනය වසරක් පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
එන්නත් ලබා ගැනීම සඳහා උපදෙස් දෙන එක්සත් රාජධානියේ එන්නත් හා ප්‍රතිශක්තිකරණ ඒකාබද්ධ කමිටුවේ සාමාජික මහාචාර්ය ජෙරමි බ්‍රවුන් පැවසුවේ ඉදිරි වසරවලදී මිනිසුන්ට, අවසානයේදී, කෝවිඩ් -19 එන්නත් මිශ්‍ර කිරීමට සිදුවනු ඇති බවය.
"එය ප්‍රායෝගිකව එසේ විය යුතුයි. මොකද ඔබ මොඩනා හෝ ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වලින් මාත්‍රා දෙකක් සම්පූර්ණ කළ පසු, අනාගතයේදී ඔබට නැවත එකම වර්ගයේ එන්නතක් ලබා දෙන බවට සහතික වීම අපහසු වෙන්න පුළුවන්," ඔහු බීබීසී සේවයට පැවසීය.
ඇස්ට්‍රාසෙනෙකා වෙනුවට ස්පුට්නික්?
මේ අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් කියා සිටියේ, ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පිරිසට ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම පිළිබඳ අවධානය යොමු විය යුතු බවය.
සායනික පරීක්ෂණවලින් අනතුරුව මේ ගැන තීරණයක් ගත යුතු බව එහි සඳහන් වේ.
මේ වනවිට ක්‍රියාත්මක වන එන්නත්කරණ ක්‍රියාවලියේ බරපතල දෝෂ පවතින බැවින් එය නැවත සමාලෝචනය කළ යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
"තුන්වෙනි මාත්‍රාවත් ගෙන්වන්න"
සෞඛ්‍ය නිර්දේශ අනුව එන්නත්කරණයට තෙවෙනි මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ පැවති රැස්වීමක දී නිලධාරීන්ට උපදෙස් දී ඇත.
ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තෙවෙනි මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර තිබෙන අතර, ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර ජනතාවට තෙවෙනි මාත්‍රාව ලබාදීම සඳහා සූදානම් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එන්නත සඳහා ලොව පුරා ඇති තරගකාරී තත්ත්වය තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමඟ සාකච්ඡා කර සහාය ඉල්ලා සිටි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
'එන්නත් බිලියනයක්'
ලෝකය පුරා සියලු ජාතීන්හි වඩාත් අනතුරුදායක මට්ටමක සිටින ජනතාවට එන්නත් මාත්‍රා බිලියනයක් ලබා දීමට ක්‍රියා කරන බව පසුගිය සතියේ පැවති G7 (දියුණු කාර්මික රටවල සංවිධානය) සමුළුවේ දී ප්‍රකාශ කෙරිණි.
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය G7 සංවිධානයට අයත් රටවල්ය.
දැනට පවතින සැලසුම් අනුව ඇමෙරිකා එක්සත් ජනපදය මේ වසර අවසන් වනවිට එන්නත් මිලියන 200ක් සපයනු ඇත. ඉතිරි මිලියන තුන්සියය 2022 ජූනි මාසය වනවිට සපයනු ඇත.
මේ අතර, එක්සත් රාජධානිය එළැඹෙන සැප්තැම්බර් අවසානය වනවිට එන්නත් මිලියන පහක් ප්‍රදානය කරනු ඇත. අනතුරුව 2021 වර්ෂය අවසානය වනවිට තවත් එන්නත් මිලියන 25ක් ද එක්සත් රාජධානිය සැපයීමට නියමිතය.
'කොවැක්ස්'(Covax) එන්නත් ව්‍යාපෘතිය මගින් එන්නත බෙදා දීමට කටයුතු කරනු ඇත.
කෙසේනමුත්, ලොව පුරා ජනතාව එන්නත්කරණයට තවත් එන්නත් බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලොව පුරා රටවල නායකයෝ පවසති.