"පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීමට ලැබුණු රුපියල් බිලියනයක මුදල කෝ?"

Published

පාස්කු ප්‍රහාරය මෙන්ම "ත්‍රස්තවාදයේ තවත් ස්වරූප" පවතින බව ජාතික විද්වත් සංඝ සභාවේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති.

"ඒ තමයි විස ආහාර කැවීමේ ත්‍රස්තවාදය. අවාසනාව SLS ලාංජනයත් විශ්වාස කළ නොහැකි තත්ත්වයට රටවැසියා අසරණ වෙලා තිබෙනවා. අනෙක් ත්‍රස්තවාදය දුරාචාරයේ ත්‍රස්තවාදය. දුරාචාරයේ ත්‍රස්තවාදය පාර්ලිමේන්තුවෙනුත් නැගෙනවා. මේ සියලු ත්‍රස්තවාදයන් ත්‍රස්තවාදමයි. ජනතාව විනාශ කරන, රටේ ප්‍රගතිය විනාශ කරන සාමය විනාශ කරන මේ සියලු ත්‍රස්තවාදයන් නැති කරලීමේ මහා වගකීම රජය සතුයි," යනුවෙන් උන්වහන්සේ කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිහිකරනුවස් "සමිදුන් වෙතගිය මිනිසුන්" මැයෙන් බදාදා (අප්‍රේල් 21) පැවති අනුස්මරණ අවස්ථාවට සහභාගී වෙමිනි.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ විදෙස් තානාපති නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දක්වමින් ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානය විසින් 2019 ජුලි 30 වෙනි දින ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන පහක (රුපියල් මිලියන 1,000) ආධාර මුදලට කුමක් සිදුවීද යන්න සොයා බැලිය යුතු බවය.

"මේ මොහොත වන තෙක් අප විමසමින් සිටියා එවන් මහා ධනස්කන්ධයක ආධාරයෙන් අපේ විපතට පත් පවුල් නැගී සිටියාද යන්න. එහෙත් ඒ සඳහා නිසි තොරතුරක් නැති නිසා අපි අද රහස් පොලිස් මූලස්ථානයට පවරනවා වගකීම මේ බිලියනයක මුදලට කුමක්ද වුනේ? මේ අනතුරට පත් වුනු ජනතාව වෙනුවෙන් මේ මුදල් වියදම් කළාද? අදත් අසරණ වුනු මිනිස්සු, තමාගේ පවුලේ වගකිවයුත්තා මිය ගිය නිසා අසරණ වුනු පවුල් වෙනුවෙන් මේ මුදල් වැය කළාද කියන ප්‍රශ්නය අපි රජයට, රහස් පොලිසියට භාර කරනවා ඒ පිළිබඳ තොරතුරු හොයන්න."

පසුව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය (සීඅයිඩිය) වෙත පැමිණි උන්වහන්සේ අදාළ ආධාර මුදලට කුමක් සිදුවීදැයි යන්න පිළිබඳ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

මේ ගැනත් කියවන්න: