ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: ශ්‍රී ලංකාව නිරෝධායන රෙගුලාසි වෙනස් කරයි - එන්නත ලබා ඇති පුද්ගලයන් නිවෙස් නිරෝධායනයට
විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන් සහ විදේශිකයින් සඳහා වන නිරෝධායන මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කර බ්‍රහස්පතින්දා (මාර්තු 18) සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබීය. ඒ අනුව ඇතැමුන්ට නිවෙස් නිරෝධායනයට ද ඉඩ කඩ සැලසේ.
කොරෝනා වසංගතය අතරේ මැදපෙරදිග ඇතුළු විවිධ රටවල තවදුරටත් කොටුවී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් ගෙන්වා ගැනීම සඳහා මෙතෙක් කිසිදු විධිමත් වැඩපිළිවෙලක් දියත් කර නොමැතිකම නිසා ශ්‍රී ලාංකිකයින් එම රටවල උද්‍යාන වැනි පොදු ස්ථානවල අතරමං වී සිටින ආකාරය බීබීසී සිංහල සේවය බදාදා (මාර්තු 17) වාර්තා කළේය. ඒ පිළිබඳ කෙරුණු විමසීම්වලදී කියැවුණේ නිරෝධායන පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවකි.
කෝවිඩ් මර්දනය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී මෙන්ම හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය දා මාධ්‍ය හමුවේ පැවසුවේ විදේශගතව සිට ආපසු පැමිණෙන පුද්ගලයින් සම්බන්ධ නිරෝධායන රෙගුලාසි ඉතා ඉක්මණින් ලිහිල් කරන බවය. එහෙත් විදේශගත ශ්‍රී ලංකිකයින් ට අදාළ රෙගුලාසි වෙනුවට ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගලයන් සංචාරයන් වල නියැලී නැවත සියරට පැමිණීමේදී අනුගනය කරන රෙගුලාසි ලිහිල් කෙරුනේ අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ පසුගියදා නිමකළ සංචාරයෙන් පසු ඔහුට නිවස වෙත යාමට ඉඩ සැලසීමට බව ඇතැමෙකුගේ චෝදනාව විණි.
නමුත් අමාත්‍යවරයා පවසා තිබුණේ ඔහුගේ සය මස් බිළිඳා හේතුවෙන් නිවස වෙත නොගොස් නිරෝධායනය වන බව ය. එසේම අදාළ රෙගුලාසි වෙනස් කරන බව ද ඔහු පවසා තිබිණි.
මේ අනුව COVID-19 වසංගතය අතරතුර විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට අදාළ මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැන් නිකුත් කරනු ලැබ තිබේ. එම මාර්ගෝපදේශයන් ට අනුව;
පැමිණෙන සියලුම මගීන් හෝ සංචාරකයින් විදේශ අමාත්‍යාංශයෙන් හෝ වෙනත් අදාළ බලධාරීන්ගෙන් හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය හරහා රට තුළට ඇතුළු වීමට අනුමැතිය ලබා ගත යුතුය.
සියලුම සංචාරකයින් විසින් පුරවන ලද සෞඛ්‍ය ප්‍රකාශන ආකෘති පත්‍රය ගුවන් තොටුපලේ පැමිණෙන පර්යන්තයේ සෞඛ්‍ය කවුන්ටරවල සිටින ගුවන් තොටුපල සෞඛ්‍ය නිලධාරීන්ගේ කාර්ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය.
ශ්‍රී ලාංකික පුරවැසියන් / ද්විත්ව පුරවැසියන් සහ විදේශීය ජාතිකයන් සඳහා නිරෝධායන පියවර.
COVID-19 එන්නත නිර්දේශිත පරිදි සම්පූර්ණ කරන ලද මගීන් සහ එන්නත අවසන් කිරීමෙන් සති දෙකකට පසුව පැමිණෙන මගීන් ;
- පැමිණීමේදී එන්නත ලබාගත් බවට සඳහන් සහතිකයේ මුල් පිටපත (වෙනත් භාෂාවකින් නම් සහතික කළ ඉංග්‍රීසි පරිවර්තනය) ගුවන් තොටුපල සෞඛ්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය.
- ඔවුන්ව රජයේ බලධාරීන් විසින් නිරෝධායන හෝටලයකට / මධ්‍යස්ථානයකට ප්‍රවාහනය කළ යුතුය.පැමිණ පැය 24 ක් ඇතුළත (පළමු දින) කෝවිඩ් -19 පීසීආර් පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික අංශයේ රසායනාගාර / රාජ්‍ය අංශයේ රසායනාගාරයෙන් කළ යුතුය.
- PCR වාර්තාව ලබා ගත් පසු, PCR නියැදි එකතු කිරීමේ දිනය සහ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල සඳහන් කරමින් හෝටලයේ / මධ්‍යස්ථානයේ නිරෝධායන අධිකාරිය විසින් මුදාහරින ලේඛනයක් නිකුත් කිරීමෙන් නිරෝධායන හෝටලයෙන් / මධ්‍යස්ථානයෙන් නිදහස් කළ හැකිය.
- ඔවුන්ගේ නිවසට පැමිණි වහාම. ඔවුන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට (MOH) දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් දැනුම් දී නිරෝධායන අධිකාරිය විසින් නිකුත් කරන ලද මුදාහරින ලද ලේඛනය ඉදිරිපත් කළ යුතුය.
- ප්‍රදේශයේ MOH වෙත දැනුම් දීමෙන් පසුව මගීන් එන්නත සම්පූර්ණ කර ඇති අතර පැමිණීමේ පළමු දිනයේදී කළ සෘණාත්මක PCR වාර්තාවක් ඇති බැවින්, ඔවුන් තවදුරටත් නිරෝධායනය කිරීම අවශ්‍ය නොවේ.
- සියලුම සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු හත්වන දින නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික අංශයේ රසායනාගාර / රාජ්‍ය අංශයේ රසායනාගාරයෙකින් පී.සී.ආර් පරීක්ෂණයක් කරගත යුතුය.
- මේ අතර තුර උණ හෝ ශ්වසන රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, ප්‍රදේශයේ MOH වෙත වහාම දැනුම් දිය යුතු අතර කොරෝනා නිරෝධායන හෝ ප්‍රතිකාර සදහා යොමුවිය යුතුය.
COVID-19 එන්නත ලබා නොදුන් / නිර්දේශිත එන්නත් මාත්‍රාව සම්පූර්ණ නොකළ / එන්නත් කර සති දෙකකට අඩු කාලයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන්නන්.
- හෝටල් නිරෝධායනයට භාජනය වන මගීන් (තනි පුද්ගලයන් හෝ පවුලේ වල සාමාජිකයන් සාමුහිකව බෙදාගෙන ඇති විට) COVID-19 PCR පරීක්ෂණ ශ්‍රී ලංකාවට පැමිණ පළමු හා හත්වන දිනවල දී සිදු කළ යුතුය.
- ප්‍රතිඵල ලබා ගත් පසු සහ පරීක්ෂණ දෙකම සෘණාත්මක නම්, හත්වන දිනය අවසන් වූ පසු හෝටලයෙන් නිදහස් කරනු ලැබේ. ඔවුන්ට තම පෞද්ගලික ප්‍රවාහනයකින් නිවෙස් කරා යාමට හැකි අතර වාහනවල රියදුරන් සුදුසු පුද්ගලික ආරක්ෂක උපකරණ පැළඳිම හා සංචාරකයින් ප්‍රවාහනය කිරීමේදී COVID-19 වැළැක්වීමේ පියවර අනුගමනය කළ යුතුය.
- ඔවුන්ගේ නිවසට පැමිණි වහාම. ඔවුන් වහාම ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියාට (MOH) දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් දැනුම් දිය යුතු අතර එහිදී හෝටලයේ හෝ නිරෝධායන ආයතනය විසින් නිකුත් කරන ලද මුදාහැරීමේ ලේඛනය ද ඉදිරිපත් කළ යුතුය.
- ඉතිරි නිරෝධායන කාල සීමාව (ඉතිරි දින 7) අනිවාර්යයෙන්ම නිවාස නිරෝධායනය කළ යුතුය.
- නිරෝධායන කාල සීමාව තුළ COVID-19 හි උණ හෝ ශ්වසන රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, ප්‍රදේශයේ MOH ට වහාම දැනුම් දිය යුතුය.
- පළමු දින හෝ හත්වෙනි දිනදී කරන ලද PCR පරීක්ෂණ ප්‍රතිඵල ධනාත්මක නම්, එම ප්‍රදේශයේ MOH වෙත දැනුම් දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළ යුතුය.
හවුලෙ පොදු පහසුකම් සහිත මධ්‍යස්ථාන නිරෝධායනයකට භාජනය වන මගීන්
- COVID-19 PCR පරීක්ෂාව පළමු හා හත්වෙනි දින සිදු කළ යුතුය.
- ප්‍රතිඵල ලැබූ විට සහ පරීක්ෂණ දෙකම සෘණාත්මක නම්, දහවන දිනය අවසන් වූ පසු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යා හැකිය.
- ඔවුන් ගෙදර යාමට පුද්ගලික ප්‍රවාහන පහසුකම් තමා විසින්ම සපයා ගත යුතුය.
- වාහනයේ රියදුරන් සුදුසු පුද්ගලික ආරක්ෂක උපකරණ පැළඳිය යුතු අතර සංචාරකයින් ප්‍රවාහනය කිරීමේදී කොරෝනා වෛරෙසය වැළැක්වීමේ පියවර අනුගමනය කළ යුතුය.
- ඔවුන්ගේ නිවසට පැමිණි වහාම. ඔවුන් වහාම ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියාට (MOH) දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් දැනුම් දිය යුතු අතර හෝටලයේ නිරෝධායන ආයතනය විසින් නිකුත් කරන ලද මුදාහැරීමේ ලේඛනයක් ඉදිරිපත් කළ යුතුය.
- ඉතිරි නිරෝධායන කාල සීමාව (දින 14 න් ඉතිරි දින හතර) අනිවාර්යයෙන්ම නිවාස නිරෝධායනය කළ යුතුය.
- නිරෝධායන කාල සීමාව තුළ COVID-19 හි උණ හෝ ශ්වසන රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, ප්‍රදේශයේ MOH ට වහාම දැනුම් දිය යුතුය.
- පළමු දින හෝ හත්වෙනි දින PCR පරීක්ෂණ ප්‍රතිඵල ධනාත්මක නම්, එම ප්‍රදේශය MOH වෙත දැනුම් දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළ යුතුය.
- මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශයන්ගෙන් පැමිණෙන සංචාරකයින් සඳහා ද නිරෝධායන රෙගුලාසි ලිහිල් කර ඇති අතර ඔවුන් ට අදාළ ක්‍රියාමාර්ගවලට අනුව ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී අනුමැතිය ලබා ගත යුතු අතර ශ්‍රී ලංකා රජය විසින් සංචාරකයින් සඳහා පනවා ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතුය.
කියවන්න: