ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය: "බඩ වැල කඩාගෙන ආපු දරුවා දෙයිද අම්ම කෙනෙක්? මම පොලිසිය ඇතුළේ වැලි කාල සාප කළා"

Muslim women offer prayers during the Eid al-Adha festival in Colombo on August 12, 2019. - Muslims around the world are celebrating Eid al-Adha (the feast of sacrifice), the second of two Islamic holidays celebrated worldwide marking the end of the annual pilgrimage or Hajj to the Saudi holy city of Mecca.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සිංහල
  • Published

ඇය දරු දුකෙන් තැවෙන තරුණ මවකි.

හත් වසරකට පෙර තමන් මෙලොවට බිහි කළ පුතු ඇයගෙන් "පැහැරගෙන" ගොසිනි.

දරුවා සිටින්නේ කොතැනක ද යන්නත්, පුතු පැහැරගෙන ගියේ කවුද යන්නත් ඇය දනියි.

එහෙත් ඇයට සිය පුතු මුණ ගැසීම පවා නීතියෙන්ම තහනම්ය.

දෛවය, යුක්තිය සහ නීතිය කෙතරම් අසාධාරණ ද යත් කුඩා පුතු පැහැරගත් "අපරාධකරු" සමඟ දරුවා පැමිණෙන අයුරු පඳුරක් අසලට වී සැඟ වී බලා සිටීමට ඉරණම විසින් ඇයට බල කරනු ලැබ තිබේ.

ඒ, දරුවා "පැහැරගනු ලැබුවේ" පුතුගේ ම පියා විසින් වීම හේතුවෙනි; ඔහු තමාගේ හිටපු ස්වාමි පුරුෂයා වීම හේතුවෙනි. ඒ, "අපරාධකරු" පාලක පක්ෂයේ සහ පුරුෂ-මූලික මුස්ලිම් සමාජයේ ද අනුග්‍රහය ලබන පළාතේ "හයිකාරයෙකු" වීම හේතුවෙනි.

මේ විසි එක්වෙනි සියවසේ නූතන පටාචාරාවකගේ කතාවකි.

line

'වැදූ අම්ම තුනට නමන සංස්කෘතියක්'

In this picture taken on April 25, 2019, a Sri Lankan Muslim woman walks along a beach with her child in Kattankudy. - Zahran Hashim's sword-wielding zealotry fuelled fears in the sleepy east coast town of Kattankudy long before the cleric became Sri Lanka's most wanted man over the horrific Easter Sunday suicide attacks. The country's president announced on April 26 that Hashim led and died in the attack on the Shangri-La hotel in Colombo -- one of three hotels and three churches hit by bombers wearing explosive backpacks.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"නුස්රා", නැගෙනහිර පළාතේ වාසය කරන මුස්ලිම් කාන්තාවකි.

පසුගිය වසරේ සිට මාස ගණනක් ඇය කඳුළු වගුරමින් සිටින්නේ තමන් මෙලොවට බිහි කළ පුතු යළි සිය සෙවනට කැඳවා ගැනීමේ අටියෙනි. එහෙත් ඇයට දැනෙන්නේ සමස්ත සමාජයම තමන්ට එරෙහිව සිටින බවකි.

ඇගේ මුළු ලෝකයම සෝදා පාලු වී ගිය සෙයකි.

"මේ ෂරියා නීතිය නිසා මට වෙච්ච අසාධාරණය මේ රටේ වෙන කාටවත් වෙන්න එපා ..."

සැනෙකින් ඇය ඒ ප්‍රකාශය නිවැරදි කරයි.

"නීතිය වැරදි නෑ සර්. නීතිය කරන මේ මුස්ලිම් පිරිමින්ගේ තමා වැරැද්ද තියෙන්නේ."

තවමත් මට මේ කතාවේ මුල, මැද, අග වටහාගත නොහැකිය. ඇත්තෙන්ම මේ අගක් නැති කතාවකි. මුල සහ මැදත් නූල් බෝලයක් මෙන් ගැට ගැහිලාය.

"අම්ම කෙනෙකුට දරුවෙක්ව ඇස් දෙකෙන් දකින බැරි නීතියක් අපේ රටේ තියෙනව නම් අපේ රටේ නීතිය බල්ලට ගිහිල්ල."

"පොලිසියට පුළුවන් නම්, ක්වාසි අධිකරණයේ නියෝග වෙනස් කරන්න, මොකටද මේ රටේ අධිකරණයක්," ඇගේ ස්වරය ආවේගශීලීය.

එහෙත් ඇයට කඳුළු නවතා ගත නොහැකිය.

වේදනාව, කෝපය, සාංකාව සහ ඇය පෙලන මානසික පීඩනය ඒ වචනවල කැටි වී තිබේ.

"මම දැන් මාස ගාණක් මගේ දරුවා බලන්න බැරුව ජීවත් වෙන්න වෙලා තියෙනවා. වැදූ අම්ම තුනට නමන සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ."

සාධාරණය පතා ඇය නොගිය තැනක් නැත.

"මම මානව හිමිකම් එකට ගියා, පරිවාසෙට ගියා, පොලිසියට ගියා, ප්‍රාදේශීය ලේකම්තුමාට ළඟට ගියා, ග්‍රාම සේවක ළඟට ගියා, උසාවියට ගියා ... කිසිම තැනකින් කිසිම සාධාරණයක් නෑ."

'නුස්රා' පවසන්නේ මේ සියල්ලට හේතුව ඇය කාන්තාවක වීම බවය; මුස්ලිම් සමාජයේ කාන්තාවකට සලකන්නේ ඉතා පහත් අන්දමින් බවය.

"සමාවෙන්න මම ඕනවට වැඩිය කතා කරනවා."

Sri Lanka Muslim women hug during Eid Al-Adha (Hajj festival) celebrations at the Galle Face esplanade in Colombo on October 6, 2014. Islam's second biggest annual festival Eid al-Adha is celebrated by Muslims worldwide to commemorate the willingness of Abraham to sacrifice his son as an act of obedience to God.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවෝ

'ක්වාසි බැනල මාව එලවා ගත්තා'

වරෙක ඉකි ගසන ඇය, යළිත් සිහි එලවාගෙන විස්තර කරන්නේ දැඩි කෝපයකිනි.

"මට කන්න නෑ, බොන්න නෑ මගේ වාහනේ, දේපොළ සේරම අර බූරුවා අරගත්තා. අන්තිමට මම ජීවිතේ නැතිකරගන්නත් හැදුව."

සිය පුතු උපත ලබා වසර හයකට පසු සැමියා තමාගෙන් දික්කසාද වූ බව පවසන නුස්රා, ඉන් අනතුරුව ඔහුගෙන් නඩත්තු මුදල් ලබාගැනීම පිණිස ක්වාසි අධිකරණයේ පිහිට පැතීමට සිදු වූ අන්දම සිහිපත් කරන්නේ කෝපයෙනි.

"මට රුපියල් 6000 ක් දීල දික්කසාද කළා ක්වාසි. දරුවෙකුත් එක්ක රුපියල් 6000 න් ජීවත්වෙන්න පුලුවන්ද?"

ඉන් අනතුරුව දිනක් ඇය කඩ වීදියට ගොස් නිවසට පැමිණෙන විට පුතු නිවසේ නොසිටියේය.

"පොඩි දරුවා නේ සර් තාත්තා අඬ ගැහුවම යනවා ..."

"බබා අරගෙන ගිහිල්ල මට නඩත්තු ගෙවන එක නැවැත්තුවා. මට දරුවා බලන්න දුන්නෙත් නෑ."

ඇය පවසන්නේ, යළිත් අම්මා ළඟට ගියහොත් අම්මා වද දෙනු ඇතැයි සැමියා කුඩා පුතුගේ මනසට කාවද්දා තිබෙන බවය.

නුස්රා කවාසි අධිකරණයේ පිහිට පැතුවාය.

එහෙත් ඇය මුහුණ දුන්නේ වඳින්නට ගිය දේවාලය හිස මත කඩා වැටුණා හා සමාන අත්දැකීමකටය.

"මෙහෙ ඇති රෙද්දක් නෑ දීපු ටික අරගෙන පලයන් කියල ක්වාසි මාව එලවා ගත්තා. මට හොඳටම බනිනවා."

"මේ සේරම මම ගෑනියෙක් නිසා සර්."

මුස්ලිම් සමාජයෙන් හෝ අධිකරණයෙන් පවා පිහිටක් නොමැති තැන ඇය ප්‍රාදේශීය බලධාරීන්ගේ පිහිට පැතුවාය.

නුස්රා පවසන්නේ, එහිදී මුස්ලිම් සමාජයට වඩා සිංහල සමාජය තමන් කෙරෙහි සානුකම්පිතව සැලකූ බවය.

"මම පොලිසිය ඇතුළේ සිහිය නැතුව වැටුණා. මම පොළොව කාගෙන බිම වැටිලා ඇඬුවා ..."

"සිංහල පොලිසිය මට හොඳට සැලකුවා ... සිංහල කට්ටිය ඇඬුවා. සිංහල පොලිස් අයත් ඇඬුවා."

"හැබැයි අපේ එවුන් උදවු කළේ නැති වුනාට 'හවසට නංගි කෝල් කරන්න' කියල නම්බර් එක නම් දෙනවා ..."

ඇය ඉකි ගසමින් හඬයි. වේදනාව දැඩි වුවත් සංවාදය නැවතීමට ඇගේ මනාපයක් නැත.

"උන්වත් මරාගෙන මට මැරෙන්න හිතෙන්නේ ...," නුස්රා උස් හඬින් පවසයි.

මුස්ලිම් කාන්තාවෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දේශපාලන බලය

පළාතේ ඇතැම් නිලධාරීන් සැමියාගේ පාසල් සගයන්ය. සමහරුන් දේශපාලන සගයන්ය. ක්වාසි අධිකරණය ද පුරුෂයාගේ පැත්තේය. ඇය පවසන පරිදි තවත් සමහරුන් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහුගෙන් ලැබෙන විවිධ වාසි නිසාවෙනි.

"මගේ දරුවට අවුරුදු 7 යි, ගස් උඩ නගියිද, කෑවද, මාළු කට්ටක් ඇනෙයිද, කොරෝනා මේ කාලේ, සනීපෙන් ඉන්නවද? අම්ම කෙනෙකුට මේවා දරාගෙන් ඉන්න පුලුවන්ද? දරුවට අම්ම නැතුව ඉන්න පුලුවන්ද?"

ඒ වචනවල ගැබ්වූ මවු සෙනෙහස, වේදනාව, අපේක්ෂා භංගත්වය සහ කෝපය මට දැනේ.

"පොලිසියෙ OIC හොඳ මහත්තයෙක්. එයා කීව ක්වාසි අධිකරණ නියෝගයක් අරගෙන එන්න කියල. ක්වාසි අධිකරණයට ගිහින් නියෝග ඉල්ලුවම කුනුහරුපෙන් බැනල කොළඹ ගහින් ක්වාසි මූලස්ථානෙන් නියෝගයේ කොපියක් අරගෙන එන්න කීව."

ඇය කොළඹ ක්වාසි මූලස්ථානයට ද ගියාය.

ක්වාසි (කාති) අධිකරණයෙන් සාධාරණයක් නොවූවා පමණක් නොව, ක්වාසි විනිසුරු ගම්වැසියන්ට බලපෑම් ද කරන බවත් ඇය පවසයි.

"මට දැන් ආදායමක් නෑ. කන්න, බොන්න නෑ. ගමේ මිනිස්සු කන්න දෙන්නේ. ක්වාසි ඒ මිනිස්සුන්ටත් බනිනව මට කන්න දෙන්න එපා කියල."

නුස්රාගේ පෙරැත්තය හමුවේ වරක් සිය පුතු පොලිසියට ගෙන ඒමට සැමියාට සිදුවිය.

"පොලිසියේ දි මම පුතාට කතා කළා ම පුතා බෑ කියනව ..."

"මම ඇහුව 'ඇයි පුතේ එන්න බෑ කියන්නේ කියල."

"ඔයා මාව මරයි, ඔයා මාව පුච්ච්යි, ඔයා මාව ලිඳේ දාවි ... කියල පුතා කියනවා ... බබාට උගන්නලා. .. කට්ට කපටි කයිරාටියෝ ටික ..."

"කච්චේරියෙන් විතරයි මට සාධාරණයක් වුණේ. ඒ දිස්ත්‍රික් ළමා නිලධාරියා හරිම හොඳයි. ක්වාසිටත් ලියුමක් යැවුවා, ඒත් ක්වාසි (කාති) ආවේ නෑ."

"එතනින් තීරණය කළා බබා ළමා මනෝ චිකිත්සකයෙක් ළඟට යවනවා කියල. සැප්තැම්බර් 7 වෙනිදා යවන්න තිබුණේ. ඒත් අද වෙනකල් දරුවා පෙන්නුවේ නෑ."

අගනුවර හැදී වැඩුණු ඇයට දෙමළ භාෂාවෙන් ලිවීමට, කියවීමට නොහැකිය.

"මේ පළාතේ සමහර පොලිසිවල සිංහලෙන් පැමිණිල්ලක් දාන්න කෙනෙක් නෑ. ඉතින් මම පැමිණිල්ල සිංහලෙන් ලියල කොලේක අලවනවා. පැමිණිලි ලියන කොස්තාපල්වරුන්ට සිංහල බෑ."

පොලිසියේ දී මුස්ලිම් සහ සිංහල නිලධාරීන්ගෙන් ඇයට ලැබුණේ එකිනෙකට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයකි.

"මුස්ලිම් පොලිස් නිලධාරියෙක් මට පලයන් එලියට කියල එලව ගත්ත."

"මම පොලිසිය ඇතුළේ වැලි කෑව. වැලි කාල සාප කළා පොලිසියට. මේ එම් ඕ බ්‍රාන්ච් එකේ ඉන්න එකාගේ දරුවට හෙන ගහපන් කියල මම සාප කළා."

වීඩියෝ ශීර්ෂ වැකිය, ළමා විවාහයක්, මුස්ලිම් ක්‍රියාකාරිනියෝ සහ තව්හීඩ් ජමාආත්

'හින්දි ෆිල්ම් එකක් වගේ'

නුස්රා මානව හිමිකම් කොමිසම වෙත ද ගොස් සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළාය. කොමිසමෙන් මෙතෙක් ඇයට පිළිසරණක් ලැබී නැත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ද ගියාය.

"DS කාර්යාලෙ ගියාම කොන්ෆරන්ස් රැස්වීමක් දැම්ම ඒත් ඒක තිබුණේ දෙමළ මාධ්‍යයෙන්. පොලිසියෙන් ආපු සිංහල පොලිස් කාන්තාවට දෙමළ තේරෙන්නේ නෑ. ඉතින් එයා මගෙන් අහනවා මොකද වුණේ කියල."

ඇය පරිවාස දෙපාර්තමේන්තුව වෙත ද ගියාය.

"වෙන දෙයක් අරගෙන තිබුණා නම් මම ඕන දෙයක් දෙනවා. ඒත් බඩ වැල කඩාගෙන ආපු දරුවා දෙයිද අම්ම කෙනෙක්?"

"අනේ මම පිස්සු ගෑනියෙක් වගේ රට වටේම දුවනවා සර් ..."

ඇය පවසන්නේ, විනිසුරුවරයෙකු වන සිය හිටපු සැමියාගේ සහෝදරයෙක් පොලිසිය ඇතුළු පළාතේ බලධාරීන්ට පමණක් නොව සිය කුඩා පුතුට ද බලපෑම් කරන බවය.

"ළමය අරගෙන ගිහින් සතියකට පස්සේ මට ක්වාසි අධිකරණයෙන් ලියුමක් එනව නඩත්තු මුදල අවසන් කරන්න අධිකරණයට එන්න කියල."

"මම ඒක අරගෙන ප්‍රාදේශීය ලේකම් තුමා ළඟට යනව. එයා හරිම හොඳ මනුස්සයෙක් හැබැයි කොන්ද පණ නෑ. එතුමා ක්වාසි අධිකරණයට ලියුමක් යවනවා මේ ගැන විමර්ශනයක් යන නිසා සිතාසි යවන එක නවත්තන්න කියල."

ඇයගේ පෙරැත්තය හමුවේ ගැලවීමට නොහැකි වූ තැන දරුවා පෙන්නීමට සැමියා එක්වරක් බලධාරීන් හමුවේ එකඟ වී තිබේ.

"කාලෙකට පස්සේ කොල්ලො හතරක් එක්ක එයා එනවා බබාව මට පෙන්නන්න. අම්ම (නුස්රා) පැයක් පුටුවක වාඩිවෙලා ඉන්නවා ග්‍රාම සේවක ලේඩි එක්ක. එයා ආවේ හරියට හින්දි ෆිල්ම් එකක නළුවා එනවා වගේ. යාලුවෝ නෙවෙයි, දන්න ස්ටුඩන්ට් ල ටිකක් එක්ක."

"මට එතකොට බබා හරි දුරයි ... මම ගහ යට පහත් වෙලා තුනට නැමිලා".

"මේ අසික්කිත දර්ශන කියන්න කැතයි සර් ... මම ගිහින් ඈතින් බලාගෙන හිටිය. විනාඩි 20ක්. බබා මාව දැක්කොත් අඬයි ලු නේ. අම්ම යක්ෂනී ... හරියට හින්දි ෆිල්ම් එකක වගේ ... "

"මේ රටේ නීතියේ විදියට අම්ම යක්ෂනී වෙලා."

මුස්ලිම් පාසල් දැරියෝ

අධිෂ්ඨානය

නුස්රා සිය සමාජයට සාප කරයි.

"නැගෙනහිර පළාතේ ඉන්න මුස්ලිම් උන් අමුතු මුස්ලිම් සත්තු ටිකක් සර් ..."

තමන් මුහුණ දුන් අත්දැකීම හේතුවෙන් දැඩි මානසික කම්පනයකට ලක්වුවත් තවත් මුස්ලිම් තරුණියකට මෙවැනි දුකක් නොදිය යුතු බවට ඇය අදිටන් කරගෙන සිටින්නීය.

"මම දැන් නීති ප්‍රවේශය ලියනවා. මේ ප්‍රශ්නේ නිසාම මම නීති ප්‍රවේශයත් ලියනවා ..."

ඒ නීතිවේදිනියක වී තමන් මෙන් දුකට පත් වූ අනෙක් මුස්ලිම් තරුණියට ද පිහිටවීමේ අටියෙනි.

(ඇයගේ ආරක්ෂාව උදෙසා නම්, ගම් වෙනස් කරන ලදි)

line
line
වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක වේදනාව

කාන්තා හිමිකම් වෙනුවෙන් පෙනී සිටින මුස්ලිම් ක්‍රියාධාරිනියන් පවසන පරිදි, මෙය 'නුස්රා' පමණක් මුහුණ දුන් අත්දැකීමක් නොවේ.

නැගෙනහිර පළාතේ පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල මුස්ලිම් කාන්තාවෝ මේ හා සමාන ඉරණමකට මුහුණ දී සිටිති.

"සරෝජ් ඕක මට අලුත් අත්දැකීමක් නෙවෙයි, මුස්ලිම් මිනිස්සු ඕක පුරුද්දට කරන වැඩක්," ජාත්‍යන්තර සම්මානලාභී මානව හිමිකම් ක්‍රියාකාරිනිය, ශ්‍රීන් සරූර් මා සමඟ කීවාය.

මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින ඇය, මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය (MMDA) සංශෝධනය විය යුතු බවට කලක් මුළුල්ලේ හඬ නගන්නියකි.

ශ්‍රීන් සරූර් පවසන්නේ, මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය හේතුවෙන් මෙවැනි ඉරණම්වලට මුහුණ දුන් බොහෝ කාන්තාවන් තමන්ට හමු වී තිබෙන බවය; ඔවුන් වෙනුවෙන් පෙනී සිට තිබෙන බවය.

දරුවන් බලහත්කාරයෙන් විවාහ කරදෙන දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් ගැන 'ෂෆා' ගේ අත්දැකීම ද මට සිහිවිය.

"ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. ඒක කළොත් අත පය කපාගෙන මැරෙනවා කියල මම කිවුව. ඒකට කැමති වෙන්න කියල අම්මත් මට බල කළා," මීට වසර කිහිපයකට පෙර 'ෂෆා' මා සමඟ කීවාය.

'ෂෆා' වැනි සිය ගණනක් මුස්ලිම් කාන්තාවන්ට සරණ වූ ජුවාරියා මොහිදීන් මුහුණ දුන් අත්දැකීම ද මට සිහිවිය.

"එලියට බහින්න බෑ. ත්‍රීවීලර් එකක යන්න බෑ. සමහර තව්හීඩ් ජමාත් කට්ටිය මගේ පවුලේ හැමෝටම කරදර කරනවා. පවුලේ හැමෝම මට බනිනවා," ඇය කියා සිටියාය.

මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් ජුවාරියා මොහිදීන් පසුගියදා ජාත්‍යන්තර සම්මානයකින් ද පිදුම් ලැබුවාය.

ශ්‍රීන් සරූර් සහ ජුවාරියා මොහිදීන් වැනි ක්‍රියාකාරිනියන් කෙතරම් වෙහෙස වුවත්, 'ෂෆා' සහ 'නුස්රා' වැනි බොහෝ තරුණියන් ගේ ඉරණම වෙනස් කිරීමට ඔවුන්ට තවමත් හැකි වී නැත.

කාන්තාවන් ඒ ඉරණමට ගොදුරු කරන සහ ක්වාසිවරුන්ට අසීමිත බලතල ලබාදෙන මුස්ලිම් පුද්ගල නීතිය වහාම සංශෝධනය කළ යුතු බවට ඔවුහු දිගින් දිගටම හඬ නගමින් සිටිති.