ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවූ කෝවිඩ් ආසාදිතයන්ගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට තීරණය කරයි

    • Author, රංග සිරිලාල්
    • Role, BBC සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ඥාතීන් සහ භාරකරුවන් ඉදිරිපත් නොවූ කෝවිඩ්-19 ආසාදිතව මියගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට තීරණය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ කෝවිඩ්-19 වසංගතයට ගොදුරු වී මිය යන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් සියල්ල, විභාගයට ගැනීමට අවසර දීමෙන් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුවය.

"ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවූ, කෝවිඩ් ආසාදිතව මියගිය අයවලුන් කිහිපදෙනෙකුගේ මළ සිරුරු රජයේ රෝහල්වල මෘත ශරිරාගාරවලට එක් රැස් වී ඇත. මේ තත්වය සබැඳිව අතිගරු ජනාධිපතිතුමාගේ දැනුවත්භාවයට ලක් කිරීමෙන් අනතුරුව එවැනි මළ සිරුරු වහාම සෞඛ්‍ය හා නීති උපදෙස්වලට අනුකූලව රජයේ වියදමින් ආදාහනය කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදි," ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ පැවසීය.

"මේ සඳහා වන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදිය යුතු බවටද වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදි."

ආදාහනය කිරීමට විරෝධය පාමින් මළ සිරුරු රැගෙන නොයාම නිසා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ කෝවිඩ් මළ සිරුරු පහක් දින ගණනක් තිස්සේ තිබෙන බව පසුගිය දා මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම වාර්තාවල දැක්වුණේ, මියගොස් පැය විසිහතරක් යන්නට පෙර කෝවිඩ් ආසාදිතයන්ගේ මෘතදේහ ආදාහනය කළ යුතු වුවත් මෙම ගැටලුව හේතුවෙන් එම මළ සිරුරු දින ගණනක් මෘත ශරීරාගාරයේ තැබීමට සිදු වී ඇති බවය.

සිරුරු ආදාහනය සඳහා මිනීපෙට්ටි ලබාදිය නොහැකි බව දන්වා ආදාහනයට විරෝධය පෑ පවුලේ ඥාතීන් පිටව ගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉහළ නිලධාරීන්ට වාර්තා කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට යොමු කළ පසු මෘත ශරිර භාරගැනීම පවුල්වල ඥාතීන් ප්‍රතික්ෂේප කර ඇති බවට තවදුරටත් වාර්තාවිය.

කොරෝනා රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින්, මිය ගිය තම ඥාතීන්ගේ දේහයන් භාර නොගැනීමට මුස්ලිම් පවුල් කිහිපයක්ම පසුගිය දින කිහිපයේ කටයුතු කර තිබෙන බවට සමාජ මධ්‍යයේ මෙන්ම මධ්‍යයේ වාර්තාවිය. එම සිරුරු ආදාහනය කිරීම සඳහා මිනී පෙට්ටිවලට මුදල් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය කළ ඉල්ලීම ද ඔවුන් විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවට එම වාර්තාවල දැක්විණ.

නොවැම්බර් 28 වන දින මාලිගාවත්ත ප්‍රදේශයේ එක් රෝගියෙක් සහ කොළඹ 02 ප්‍රදේශයේ රෝගීන් දෙදෙනෙක් කොරෝනා ආසාදනයෙන් මියයෑම පිළිබඳ බලධාරීන් විසින් දැනුම් දුන් පසු එම දේහයන් ආදාහනය කිරීම සඳහා මුදල් ලබා නොදෙන බවටත් තමන්ට අළු අවශ්‍ය නැතැයි කියමින්, එම දේහයන් භූමදානය කිරීමට නොදෙන්නේ නම් රජයට අවශ්‍ය දෙයක් කරන්නැයි කියා එම ඥාති පිරිස රෝහලෙන් පිටව ගොස් තිබෙන බවට ද ලීඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

එම වෙබ් අඩවිය තවදුරටත් සඳහන්කර තිබුණේ එම පිරිසගෙන් එකඟත්වය සඳහා බලහත්කාරයෙන් අත්සන් තබා ගැනීමට පොලිසිය උත්සාහ කළ ද ඒ කිසිවකට හෝ එකඟනොවී තම ආගමික ස්ථාවරය පැහැදිලි කොට ඔවුන් රෝහල් පරිශ්‍රයෙන් නික්ම ගොස් තිබෙන බවයි.

මේ අතරතුර රජයේ තීරණය සමග දේශපාලනිකව එකඟතාවෙන් කටයුතු කරන මුස්ලිම් ආගමික කණ්ඩායමක් එසේ මියයන මුස්ලිම්වරුන් ආදාහනය කිරීමට අවශ්‍ය පෙට්ටි සහ මුදල් ලබාදීමට IDH රෝහලේ අධ්‍යක්ෂකවරයාට එකඟත්වය පළ කර ඇති නමුත්, අදාළ ඥාතී පාර්ශ්වයන් විසින් එම ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කර ඇති බවත් කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ දේහයන් ආදාහනය කිරීම සඳහා රජයෙන් ඉල්ලා සිටින මිනිපෙට්ටි ලබා දීම හෝ මුදල් ලබා දී අළු ලබා ගැනීම ඉස්ලාම් ආගමේ චාරිත්‍රයක් නොවන බැවින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට මුස්ලිම් සමාජය විසින් මේවනවිට නිල නොවන මට්ටමින් තීරණය කොට ඇතැයි ද එම වෙබ් අඩවිය වාර්තා කෙරිණි.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මේ පිළිබඳව තම මුහුණු පොතේ සටහනක් තබමින් පවසන්නේ "මුළු ලෝකයම, රටවල් 194 ක් එයට (මෘතදේහ වැළලීමට) ඉඩ දෙන විට - නොගැඹුරු ජලය සහ වැඩි වර්ෂාපතනයක් ඇති රටවල් ඊට ඇතුළත් ය - ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අයිසීආර්සී ඒ සම්බන්ධයෙන් තීන්දු කළ විට, එක්සත් ජාතීන් ඉල්ලූ විට, දැන් අපේම මානව හිමිකම් කවුන්සිලය, දැන් ඔබට උවමනා කුමක් ද ?. මෙය විකාරයකි!" යනුවෙනි.

ඔහු තවදුරටත් පවසන්නේ "ආදරණීය සියල්ලෙනි, වීඩියෝවට සවන් දෙන්න! කොවිඩ්-19 රෝගීන් භූමදානය කිරීම *කිසිසේත් හානිකර නොවන බවත්, ජලය හෝ පසෙහි වෙනත් ද්‍රව්‍ය වලින් අපවිත්‍ර නොවන බවත් * වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය නිහාල් අබේසිංහ විසින් ඉතා පැහැදිලි සාක්ෂි සපයයි. මේ සියලු සාක්ෂි අසනු ඇත්ද ?. ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි ලබා දුන් විට විරුද්ධ වන අය විසින්. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයට අමතරව, අයිසීආර්සී - අධිකරණ වෛද්‍ය විද්‍යාව, වසංගත රෝග විද්‍යාඥයින්ගේ ලෝක කොලීජිය, සීඩීසී-එක්සත් ජනපදය, සීඩීසී - ඊයූ! නමුත් ශ්‍රී ලංකාවේ ජේඑම්ඕ විසින් වෛරස් විද්‍යාඥයින් සහ වසංගත රෝග විද්‍යාඥයින් අභිබවා යමින් සිටී. එවැනි දුක්ඛිත තත්වයක්," යනුවෙනි.

කියවන්න: