ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2020 පාර්ලිමේන්තු මැතිවරණය සජීවී වාර්තාව:
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ සජීවී වාර්තාව මින් නිම වෙයි.
මැතිවරණ නිල ප්‍රතිඵල බීබීසී සිංහල වෙබ් අඩවිය ඔස්සේ හෙට (අගෝස්තු 06) සජීවීව බලාපොරොත්තු වන්න.
අප සමග රැඳී සිටි ඔබට ස්තූතියි.
ඡන්ද පෙට්ටි ගෙන යාමේ කටයුතු ඇරඹේ
(ප.ව. 05.22)
දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද පෙට්ටි, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු වෙමින් පවතී.
එසේ ගෙන යනු ලබන ඡන්ද පෙට්ටි, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දැඩි රැකවල් මධ්‍යයේ තබා තැබීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, හෙට දිනයේ දී (අගෝස්තු 06) උදෑසන ඡන්ද ගණන් කිරීම ආරම්භ කෙරේ.
ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු නිම වෙයි
(ප.ව. 05.14)
අද (අගෝස්තු 05) උදෑසන 07:00 න් ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සවස 05:00 න් නිම විය.
මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවයට පැවසුවේ සවස 4 වනවිට 60% ට ආසන්න ඡන්ද ප්‍රමාණයක් මුළු දිවයින පුරා ප්‍රකාශ වී තිබූ බවය.
හෙට (අගෝ. 06) උදෑසන 7 සිට ඡන්ද ගණන් කිරීම ඇරඹෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට පෙර පවසා තිබිණි.
ඡන්දය ප්‍රකාශ කිරීමේ අවසාන පැය
(ප.ව 04.28)
අද උදෑසන 07:00 ට ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සවස 5:00 න් අවසන් වීමට නියමිතය.
'පරණ පාර්ලිමේන්තුව' සහ 'හිටපු 225' ගැන මතක් කිරීමක්
09 වෙනි පාර්ලිමේන්තුව සඳහා නීති සම්පාදකයන් තෝරා පත් කර ගනු ලබන අද, 08 වෙනි පාර්ලිමේන්තුවේ හිටපු 225 ගැන මතක් කර ගමුද?
ව්‍යවස්ථා සංශෝධන සහ උල්ලංඝන, අගමැති පුටු මාරු, ගුටිබැට මැද නිම වුනු 08 වෙනි පාර්ලිමේන්තුව ගැන මෙතනින් කියවන්න.
2020 මහ මැතිවරණයේ මහජන නියෝජිතයන්, මුදල්, ඡන්ද සටන සහ නිර්ණායක
දේශපාලනය 'ලාභ ලබන ව්‍යාපාරයක්' බවට පත්ව ඇති බව වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.
"දේශපාලනය සම්පූර්ණයෙන්ම වාගේ මඩිය තර කරගන්න රස්සාවක් වෙලා. මිනිස්සුන්ගේ මුදල්, දේපොළ සූරා කන තක්කඩියන්ගේ තිප්පොළක් බවට පත් වෙලා. වැලි ඇටයේ ඉඳන් සොරකම් කරනවා. අලුතෙන් එන අයත් ඒ හොර චක්‍රයේ කොටසක් වෙනවා. මේ වගේ තිත්ත කළු රස්සාවකට සුදුසුකම් තිබෙන ප්‍රතිපත්තිගරුක මිනිස්සු එකතු වෙන්නේ නැහැ. හැබැයි ඒකේ පාඩුවත් රටටමයි," යනුවෙන් සාමාන්‍ය පුරවැසියෙකු බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
ඒ ගැන වැඩිදුර විස්තර මෙතනින් කියවන්න: 73 වසරකට පසුවත් 'රවටන', 'රැවටෙන' ශ්‍රී ලංකාවේ දේශපාලනය
පහර දීමේ සිදුවීම් දෙකක් - CMEV
(ප.ව 04.08)
බදාදා පෙ.ව 07:00 සිට ප.ව 01:00 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 161 ක් වාර්තා වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
පහර දීමේ සිදුවීම් 2ක් ද ඊට ඇතුළත් බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
ඡන්දය දීමේ වරම අහිමි පුරවැසියන් 'ලක්ෂ ගණනක්'
විදේශගත ශ්‍රී ලාංකිකයන් මිලියන දෙකක් ඇතුළු පුරවැසියන් ලක්ෂ ගණනකට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ලොව ඇතැම් රටවල භාවිත කෙරෙන ආකාරයේ මැතිවරණ දිනට පෙර ඡන්දය භාවිත කිරීමේ ක්‍රමවේදයක් (Advance voting) නොමැති වීම බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
කොරෝනාවෛරස් වසංගතය හමුවේ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවනු ලැබ සිටින 1,500 ක පමණ පිරිසකට ද ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.
ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි ශ්‍රී ලාංකිකයන් ගැන වැඩිදුර කියවන්න: ඡන්ද වරම අහිමි ශ්‍රී ලාංකික "ලක්ෂ ගණනක්"
මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 890 ක්
(ප.ව 03.55)
2020 මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු තෝරා පත්කර ගැනීමට ඡන්ද දායකයින් 1,129,100 දෙනෙකු ලියාපදිංචිව සිටින බවත් ඔවුන්ට බාධාවකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 890 ක් ස්ථාපනය කර තිබෙන බවත් මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න පැවසීය.
පිළිගත් දේශපාලන පක්ෂ 12 කින් හා ස්වාධීන කණ්ඩායම් 17 කින් අපේක්ෂකයින් 435 දෙනෙක් මෙවර මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කරන බවත් ඔහු සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු වෙනුවෙන් පොල්ගොල්ල සමුපකාර විද්‍යාලය, පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාලය,පොල්ගොල්ල මහවැලි විද්‍යාපීඨ පරිශ්‍රය හා මහනුවර ආදර්ශ පාසල සූදානම් කොට ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ගිනි අවි පසෙකට, ඉදල අතට
(ප.ව 03.40)
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම ක්‍රියාත්මක අද දින (අගෝ. 05) මේ වන තෙක් අපරාධමය චෝදනා ලබන හෝ කඩාකප්පල්කාරී ක්‍රියා කිසිවක් වාර්තා වී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසීය.
එසේ වුවද, ප්‍රචාරක පත්‍රිකා බෙදාහැරීම ඇතුළු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වාර්තා වූ බව ඔහු කියා සිටියේය.
එසේ නීති විරෝධී ලෙස ඡන්ද මධ්‍යස්ථාන අසළ බෙදා හැර හෝ විසුරුවා හැර තිබූ මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා ඉවත් කිරීමට ආරක්ෂක අංශ යොමු වූ ආකාරය ප්‍රදේශය කිහිපයක දක්නට ලැබිණි.
සමරිසි සහ සංක්‍රාන්ති ප්‍රජාව: "ඡන්ද පොළේදි මම හිටගන්නේ ගැහැණු පෝලිමේ ද? පිරිමි පෝලිමේ ද?"
ඡන්දය භාවිත කිරීමට අදාළ ලියාපදිංචි කටයුතු සහ අනන්‍යතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් තමන් අභියෝගවලට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකාවේ සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව පවසයි.
තම ඡන්ද ලියාපදිංචි කර ගැනීම සඳහා විකල්ප ක්‍රමවේද සහ තමන් තෝරා ගන්නා ලද ස්ත්‍රී පුරුෂ භාවය සනාථ කෙරෙන නිල ලේඛනය (GRC) ,නිර්දේශිත අනන්‍යතා සහතිකයක් ලෙස පිළිගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
ඡන්දය භාවිතය සම්බන්ධයෙන් සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව මුහුණ දී ඇති අභියෝග ගැන වැඩිදුර කියවන්න: සංක්‍රාන්ති ප්‍රජාව: "ඡන්ද පොළේදි මම හිටගන්නේ ගැහැණු පෝලිමේ ද? පිරිමි පෝලිමේ ද?"
ඡන්ද පෙට්ටියේ ඉතිහාසය
ශ්‍රී ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය හිමි වූ මුල් අවධියේ භාවිත කෙරුනේ වර්ණ ඡන්ද පෙට්ටි ක්‍රමයකි. අද මෙන් ඡන්ද ලකුණක් හෝ මනාප අංකයක් නොව ඡන්ද දායකයාට ඡන්දය ලබා දීමට තිබුනේ ඒ ඒ අපේක්ෂකයා වෙනුවෙන් වෙන් කරන ලද වර්ණයකටය.
ඡන්ද පෙට්ටියේ ඉතිහාසය දැන ගන්න පිවිසෙන්න: 'වර්ණ ඡන්ද පෙට්ටි' සහ 'සුදු මහත්තයාගේ' ඡන්ද සටන
ඡන්දය සලකුණු කරන අවස්ථා සමාජ මධ්‍යයේ පළ කරන්න එපා! - මැ.කො.ස පණිවිඩයක්
(ප.ව 02.01 )
ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡයාරූප ගත කර හෝ වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
එසේ කටයුතු කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස සියලු සමාජ ජාල ගිණුම් හිමියන් සහ පරිපාලකයන් වෙත මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා ඇත.
අයහපත් කාලගුණය මැද නුවරඑළියේ ජනයා ඡන්දපොළ වෙතට
(ප.ව 01:23)
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා තිබු ඡන්ද දායකින් ප්‍රමාණය 577,717 කි. ඒ නුවරඑළිය - මස්කෙලිය 330,761ක්, වලපනේ 87503 ක් කොත්මලේ 84175 ක් හා හගුරන්කෙත 75278 ක් වශයෙනි. ඔවුන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා මධ්‍යස්ථාන 498 ස්ථාපනය කළ බව නුවරඑළිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්.බි.ආර් පුෂ්පකුමාර පැවසීය.
එම ස්ථානවල සේවය සඳහා නිලධාරීන් 4,100 ක් හා ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1,500 ක් පමණ ද සේවයට යොදවා තිබේ.
දින කිහිපයක සිට ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය එලෙසම පවතින අතර විටෙන් විට තද සුලඟ සමග වර්ෂාව ඇද හැලෙමින් තිබූ නමුත් ජනතාව සෞඛ්‍ය අංශ විසින් කළ දැනුවත් කිරිම් පිළිපදිමින් මුව ආවරණ පැළඳ ඡන්ද මධ්‍යස්ථාන වෙත එන බව අප වාර්තාකරුවෝ පැවසූහ.
(ඡායාරූප: නුවරඑළිය ඡන්දය ප්‍රකාශ කිරීම)
'ඡන්දපොළේදී' මතක තබා ගත යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ
(ප.ව 01.09)
ඡන්දය ප්‍රකාශ කිරීමට යන ඔබ මතක තබා ගත යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් හෑෂ්ටැග් පරපුර සිහිපත් කරයි.
පැය 3ක් තුළ මැතිවරණ නීති උල්ලංඝන 70 ක් - CMEV
(ප.ව 12.47)
බදාදා පෙ.ව 07:00 - 10:00 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 70 ක් වාර්තා වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
ඉන් බහුතරය නීතිවිරෝධී ප්‍රචාරක කටයුතුවලට අදාළ පැමිණිලි බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
මැ.කො සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලීමක්
(ප.ව 12.00)
2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 80% - 85% අතර ප්‍රතිශතයක් ඡන්දය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් කිසිඳු බියකින් තොරව ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය භාවිත කරන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය
(පෙ.ව 11.53 )
පෙරවරු 10.00 පමණ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 20% ඉක්මවා ඇති බවත් මධ්‍යහ්න 12.00 පමණ වන විට එම ප්‍රතිශතය 40% ත් 50% අතර ප්‍රමාණයක් විය හැකි බවත් ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ පැවසීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 712 කදි ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඒ සෑම ඡන්ද ම්‍යස්ථානයක් ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පවත්වා ගෙන යන බව ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරිවරයා සඳහන් කළේය.
ගාල්ල දිස්ත්‍රික්කයට තෝරා පත් කර ගනු ලබන මන්ති ධුර 9 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ13 කින් සහ ස්වාධීන කණ්ඩායම් 13 කින් අපේක්ෂකයෝ 312 ක් තරග වැද සිටිති.
දකුණු පළාතේ මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරින්, විශේෂ කාර්ය බලකා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක භටයින් 8,528 ක් පමණ යොදවා ඇතැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසීය.
දිස්ත්‍රික්කය පුරා ජංගම මුර සංචාර 397 ක් සහ ප්‍රධාන මාර්ග බාධක 28 ක් යෙදවිමට පියවර ගෙන ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේය.
(ඡායාරූප: ගාල්ලේ ඡන්දය ප්‍රකාශ කිරීම)
උතුරු පළාත: ඡන්දය ප්‍රකාශ කිරීමට ජනයා පෙළගැසෙති
(පෙ.ව 11.20 )
ඡන්ද මධ්‍යස්ථාන 966 ක දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලද උතුරු පළාතේ ජනතාව ද එම මධ්‍යස්ථාන කරා ඇදෙමින් සිටිති.
මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කළ පරිදි උතුරු පළාතේ ජන්ද දායකයින් 858,861 දෙනක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.
ඒ, යාපනය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයින් 571,848 හා වන්නි මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයින් 287,013 දෙනකු වශයෙනි.
වන්නි මැතිවරණ කොට්ඨාසයේ පිළිගත් දේශපාලන පක්ෂ දෙකක හා ස්වාධීන කණ්ඩායම් හයක නාමයෝජනා ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව වන්නි මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රී ධූර හයක් සඳහා පිළිගත් පක්ෂ 17 ක හා ස්වාධීන කණ්ඩායම් 28 ක අපේක්ෂකයින් 269 දෙනකු තරඟ කරන බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පැවසීය.
යාපනය මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රී ධූර හතක් සඳහා පිළිගත් පක්ෂ 19 හා ස්වාධීන කණ්ඩායම් 14 ක අපේක්ෂකයින් 330 දෙනකු තරඟ කරන බව යාපනය තේරීම්භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
(ඡායාරූප: ඡන්දය ප්‍රකාශ කිරීමට වවුනියාවේ ජනතාව පැමිණීම)
2020 මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි
(පෙ.ව. 10.28)
ශ්‍රී ලංකාවේ 09 වෙනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කරගනුවස් පැවැත්වෙන මහ මැතිවරණය අද (අගෝස්තු 05) උදෑසන 7:00 ට ආරම්භවිය.
මෙවර මහ මැතිවරණය කරුණු කිහිපයක් මත සුවිශේෂී වෙයි. ගෝලීය කොරෝනාවෛරස් වසංගතය මැද පැවැත්වෙන එය ශ්‍රී ලංකා ඡන්ද ඉතිහාසයට එක් වන්නේ දීර්ඝ කාලයක් පවත්වන ලද මහ මැතිවරණය ලෙස පමණක් නොව දීර්ඝ කාලයක් ප්‍රචාරක කටයුතු සඳහා කාලය වෙන් කළ මැතිවරණය ලෙසිනි.
කොරෝනාවෛරස් වසංගත මර්දන රෙගුලාසි අනුගමනය කරමින් පැවැත්වෙන මෙවර මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා දිවයින පුරා ඡන්දදායකයෝ තමන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණෙමින් සිටිති.
මැතිවරණය පවත්වනු ලබන්නේ විශේෂ සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමිනි. කාබන් තැවරූ කඩදාසි කැබැල්ලකින් ඇඟිලි වර්ණ ගැන්වීම සිදුවෙයි. ඒ සඳහා ඡන්ද දායකයින් සිය වම් අතේ සුලැඟිල්ල මෙසය මත ඇති ටිෂු කඩදාසියක් මත තැබිය යුතු වෙයි.
ඡන්දපොළ නිලධාරීන් සඳහා විශේෂ ආරක්‍ෂක කුටි සපයා ඇති අතර ඡන්ද දායකයින් ඇතුළු වනවිට හා පිටව යනවිට විෂබීජහරණය කිරීමකට ලක් කරනු ලැබෙයි.
2020 මහ මැතිවරණය දිස්ත්‍රික්ක 22 පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යාස්ථාන 12.985 ක දී පැවැත්වෙයි.
ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ඡන්ද දායකයින් 16,263,885 ක් සුදුසුකම් ලබා සිටිති. ඔවුන්ගේ ඡන්දයෙන් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු තෝරා පත්කර ගැනීමට නියමිතය (ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරු 29 ක් ඇතුළත් වේ.)
මහ මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 7,452 කි.