කොරෝනා වෛරසය: ශ්‍රී ලංකාවේ පාසල් විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් තිබේ ද?

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ලබන මැයි 11 වන දා පාසල් ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විරෝධය පළ කරමින් සිටී.

මීට පෙර රජයේ පාසල් සඳහා දෙවන පාසල් වාරය අප්‍රේල් මස 20 වන දා ආරම්භ කිරීමට නියමිතව පැවතිය ද, රට තුළ පවත්නා කොරෝනාවෛරස් තත්ත්වය සැලකිල්ලට ගෙන එය මැයි 11 වන දා දක්වා කල් දැමිණි.

කෙසේ වෙතත්, මැයි 11 වන දා පාසල් ආරම්භ කිරීමේ තීරණයට විරෝධය පළ කරන පාර්ශව නගන ප්‍රධාන කරුණක් වන්නේ, "කොරෝනාවෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව යළිත් වැඩි වෙමින් පවතින තත්ත්වයක් තුළ පාසල් ආරම්භ කිරීම අවදානම්සහගත," බවය.

මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් 'ජාතික හඬ' නමැති සංවිධානය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් ද යොමු කරනු ලැබීය.

'පාසල් නැවත විවෘත කිරීම සඳහා වඩාත් සුරක්ෂිත ප්‍රවේශයක් පිළිබඳ සලකා බලන ලෙස සිදු කරන ඉල්ලීම' යන මාතෘකාව යටතේ යොමු කළ එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ, පාසල් විවෘත කිරීම පිළිබඳ තීරණය යළි සලකා බලන ලෙසය.

පාසල් විවෘත කරන්නේ නම් සියලු සිසු සිසුවියන්ගේත්, දෙමාපියන්ගේත්, ගුරුවරුන්ගේත්, අධ්‍යාපන සේවා සපයන්නන්ගේත් ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් වන යෝජනා 6ක් එම ලිපියෙහි අන්තර්ගත විය.

  • දිවයිනේ සියලු ම පාසල් නැවත විවෘත කිරීම සිදු කළ යුත්තේ සෞඛ්‍ය අංශයේ බලධාරීන් විසින් ඉතා විනිවිදභාවයකින් යුතුව අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ අදාළ සියලු ම පාර්ශවකරුවන් විසින් දරුවන්ට සහ පුරවැසියන්ට ආරක්ෂිත ලෙස වැඩ කටයුතු පවත්වාගෙන යාමට අවශය පරිසරය පිළිබඳ සහතික වෙමින් සිදු කරන ලද සාමූහික එකඟතාවක් මත පදනම්වය.
  • ප්‍රමුඛතා පදනමක් මත පාසල් නැවත විවෘත කිරීමේ ශක්‍යතාව/හැකියාව තක්සේරු කිරීම.
  • COVID-19 වසංගත තත්ත්වයන් මැඩ පැවැත්වීමේ කාල සීමාව තුළ අධ්‍යාපන අංශය තුළට විවිධ උපදේශනයන් ලබා දෙන විවිධ කුසලතා සහ අධ්‍යාපන, සෞඛ්‍ය, ළමා සංවර්ධනය, ආපදා කළමනාකරණය යන ක්ෂේත්‍ර තුළ අත්දැකීම් සහිත නියෝජිතයින්ගෙන් සමන්විත අධ්‍යාපන කාර්ය සාධක බලකායක් නිර්මාණය කිරීම.
  • මෙම අර්බුදකාරී කාල සීමාව තුළ විවිධ රටවල් විසින් සාර්ථකව අනුගමනය කරන ලද විකල්ප අධ්‍යාපන ක්‍රම හඳුනා ගනිමින්, දිවයිනේ සියලු ම පාසල් නැවත විවෘත කරන තුරු විකල්ප මාධ්‍ය ඔස්සේ පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම.
  • පාසල් ආරම්භ කිරීමේ දිනය වන විට, වෛරසයේ ව්‍යාප්තියත් සමග අඩපණ වූ කර්මාන්තයන්හි සේවය කරන, මූල්‍ය දුෂ්කරතාවලින් පෙළෙන දෙමාපියන්ගේ දරුවන්ට අත්‍යවශ්‍ය පාසල් ද්‍රව්‍ය සැපයීම සඳහා රජයේ වැඩපිළිවෙළක් සැකසීම.
  • අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛ අංක 12/2016 ක්‍රියාත්මක කරමින්, මානසික සහ ශාරීරික හිංසනයෙන් තොර අධ්‍යාපනික අත්දැකීමක් දරුවන්ට ළඟා කිරීමට කැප වීම සහ ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගිකත්වය, ආගම පිළිබඳ කිසිදු වෙන් කොට සැලකීමකින් තොරව ආරක්ෂිතව දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීම.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ 'ජාතික හඬ' ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය තුෂ් වික්‍රමනායක ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්වන තුරු පාසල් ආරම්භ කිරීම නොකළ යුතු බවය.

"ලංකාවේ කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් අවසන් කරල නැහැ. පාලනය කරලවත් නෑ. ඉතිං එවැනි වකවානුවක පාසල් විවෘත කරනව කියල නිවේදනයක් කරන එක මං හිතන්නෙ හරි ම ආන්දෝලනාත්මකයි. ඒ නිසා අපි කියන්නේ පාසල් දැන්ම ම අරින්න එපා කියන එකයි," ඇය පැවසීය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින්: "ලංකාවේ බුද්ධිමතුන්, ඒ වගේ ම අධ්‍යාපනඥයින්, විවිධ පාර්ශව, දෙමව්පියෝ, වෘත්තීය සමිති, සියලු ම දෙනා ඉල්ලීමක් කරල තියෙනව රජයෙන් පාසල් නැවත විවෘත කිරීම මැයි 11 දිනය සම්බන්ධයෙන් නැවත සලකා බලන්න කියල," යනුවෙන් පැවසීය.

"මොක ද, දැනට රටේ මේ තියෙන තත්ත්වය තුළ හතලිස් තුන් ලක්ෂයක් ළමයි පාසල් පද්ධතියට නිරාවරණය කිරීම තුළ සම්පූර්ණයෙන් ම රටේ ළමයින්ගේ ජීවිත අනතුරේ හෙළනව වගේ ම දෙමාපියන් තුළ ජනතාව තුළ මේ රෝගය පැතිරීමට සම්පූර්ණයෙන් අවකාශයක් සැලසීම තමයි මේකෙන් වෙන්නේ."

ගුරුවරුන්ගේ අදහස්

තිලිණි රොද්‍රිගු කොළඹ පාසලක සංගීත ගුරුවරියකි. මැයි 11 වන දා පාසල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග ඇය අදහස් දැක්වූවාය.

"මම නම් හිතන්නේ පාසල් ආරම්භ කරන්න කලින් සෞඛ්‍ය අංශවලින් නිසි නිර්දේශයක් ගත යුතුයි. එහෙම නොකළොත් පාසල් ළමයි විතරක් නෙවෙයි, ගුරුවරුනුත් අවදානමකට වැටෙන්න පුළුවන්. මේ තත්ත්වය සම්පූර්ණයෙන් මැඩ පවත්වන තුරු පාසල් ආරම්භ කරන්න එපා කියන එකයි මගේ ඉල්ලීම," තිලිණි රොද්‍රිගු පැවසීය.

මේ අතර, මාතලේ ප්‍රදේශයේ පාසල් ගුරුවරියක ලෙස සේවය කරන උදානි බණ්ඩාර ද බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පාසල් ආරම්භ කිරීමට පෙර කොරෝනාවෛරසය ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය කළ යුතු බවය.

"පාසල් වහල තියෙන එකෙන් ළමයින්ගෙ අධ්‍යාපන කටයුතුවලට යම් පාඩුවක් සිද්ධ වෙනවා. ඒත් මේ වෙලාවේ ළමයින්ගේ අධ්‍යාපනයට වඩා ඔවුන්ගේ ආරක්ෂාව තමයි වැදගත් වෙන්නේ. අපි පුළුවන් විදිහට ඉන්ටර්නෙට් හරහා අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒත් ඊට අවශ්‍ය පහසුකම් නැති දරුවන්ට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. ඒ කොහොම වුණත් වෛරසය ව්‍යාප්ත වීම සම්පූර්ණයෙන් පාලනය කරන තුරු පාසල් ආරම්භ කරන එක අවදානමක්," උදානි බණ්ඩාර පැවසීය.

මේ අතර, බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ දෙමාපියන් කිහිප දෙනෙකු ද ප්‍රකාශ කළේ, පාසල් ආරම්භ කළ ද සිය දරුවන් පාසල් යැවීමට බියකින් පසුවන බවය.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පසුගිය 20 වන දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය නිල ෆේස්බුක් අඩවියේ සටහනක් තබා තිබිණි. එහි ඔහු සඳහන් කර තිබුණේ, "පාසල් ආරම්භ කිරීමට හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට මා බල කරන්නේ නැත," යනුවෙනි.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

පාසල් ආරම්භ කිරීමේ දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය යම් තීන්දුවක් ගෙන ඇත්දැයි බීබීසී සිංහල සේවය සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් විමසීමක් කළේය.

ඔහු ප්‍රකාශ කළේ, දැනට එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති අතර, මැයි 11 වන දා තෙක් රටේ සෞඛ්‍ය තත්ත්වය අධ්‍යයනය කරන බවය.

"තව ටික කාලයක් තියෙනවා මැයි 11 වෙන්න. අපි සෞඛ්‍ය තත්ත්වය ගැන අධ්‍යයනය කරනවා එතකම්. ඒ අතරේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව යම් තීන්දුවකට එනවා," අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පළිහවඩන බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, පාසල් ආරම්භ කිරීමේදී රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනු ඇති බවය.

කියවන්න: