ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: පුත්තලමට සහ කොච්චිකඩේට පොලිස් ඇඳිරි නීතිය: නාත්තන්ඩියේ 65කට අධිකරණ නියෝගයක්
නව කොරෝනාවෛරසය [COVID -19] ශ්‍රී ලංකාව තුළ පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පුත්තලමට සහ මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට බදාදා (මාර්තු 18) පස්වරු 4.30 සිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
පොලිස් මූලස්ථානය සදහන් කළේ, පුත්තලම පොලිස් කොට්ඨාසයට අයත් පුත්තලම, ආණමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරච්චෝලේ සහ සාලියවැව යන පොලිස් බල ප්‍රදේශවලටත් හලාවත පොලිස් කොට්ඨාසයේ හලාවත, දන්කොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව හා ආරච්චිකට්ටුව පොලිස් බල ප්‍රදේශවලටත්, මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බවය.
මෙම ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාල සීමාව තුළ පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර දීමේ කටයුතු සිදු කිරීමට බාධාවක් නොමැත.
එමෙන් ම ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා සහ අත්‍යවශ්‍ය සේවා කටයුතු සිදු කිරීමට හැකි බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.
නාත්තන්ඩියේ 65 දෙනෙකුට අධිකරණයෙන් නොතීසි
මේ අතර, නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ජීවත්වන, ඉතාලියේ සිට පැමිණි පුද්ගලයන් 65 දෙනෙකුට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවවාදාත්මක නොතීසි නිකුත්කර තිබේ.
එම නියෝගය නිකුත් කර තිබෙන්නේ නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක අධිකරණයට කළ කරුණු දැක්වීමක් අනුවය.
ඉතාලියේ සිට පැමිණි පුද්ගලයන්ට තම නිවෙස් තුළ සිට දින 14ක් ස්වයං නිරෝධයනයක නිරත වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබිණි.
කියවන්න:
ඒ පිළිබඳව උපදෙස් ලබා දීමට හා අධීක්ෂණ කටයුතුවල නිරත වූ "මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සමහර නිලධාරීන් ඇතැම් පුද්ගලයන්ගේ සමච්චලයට ලක්ව ඇති" බවටත් "ඇතැමුන් උපදෙස් පිළි නොපිළිපදින" බවටත් නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මාරවිල මහේස්ත්‍රාත්වරයාට කරුණු දක්වා මෙම නියෝගය ලබා ගෙන තිබේ.
අදාළ අධිකරණ නියෝගයට අනුව අවවාදාත්මක නොතීසි ලද 65 දෙනා සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත සිය නිවෙස් තුළ ම රැදෙමින් නිරෝධායනයට ලක් විය යුතුය.
අත්‍යවශ්‍ය මානුෂීය හේතුවක් මත හැර වෙනත් කිසිදු හේතුවක් සඳහා සෞඛ්‍ය නිලධාරීන්ගේ අවසරයකින් තොරව දින 14ක කාලයක් ඔවුන්ට නිවෙස්වලින් බැහැරවිය නොහැකිය.
නව කොරෝනාවෛරස් ආසාදනය [COVID -19] ශ්‍රී ලංකාව තුළ පැතිරීම පාලනයට ප්‍රධාන අභියෝගයක් වී ඇත්තේ, මාර්තු 01 සිට 09 දක්වා කාලය තුළ නිරෝධායනයට ලක් නොවී 2000ක් පමණ පිරිසක් රට තුළට ඇතුළු වීම බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ.
යුද හමුදාපති
පොලිසිය හා බුද්ධි අංශවල නිලධාරීන්ගේ ද සහය ඇතිව, ඔවුන් නිවෙස් තුළ ම ස්වයං නිරෝධායනයට පියවර ගත්ත ද ඇතැමුන් එම උපදෙස් පිළි නොපදින බව කොරෝනා මර්දනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේය.
කොරෝනාවෛරසය ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී ඇති රටවල සිට මාර්තු 01 සිට 09 දක්වා ශ්‍රී ලංකාවට පැමිණි, නිරෝධායනයට ලක් නොවූ පුද්ගලයින් සංඛ්‍යාව 1500-2000 ත් අතර වේ.
ඉන් 800ක් පමණ සිටින්නේ පුත්තලම දිස්ත්‍රික්කය තුළය. ඉන් බහුතරය ඉතාලියේ සිට පැමිණි අය වන අතර ඔවුන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියා නොකිරීම ගැන කොරෝනාවෛරස් මර්දන කාර්ය සාධක බලකායේ අවධානය යොමුව තිබේ.
''විශේෂයෙන් පුත්තලමේ අයගෙන් ඉල්ලනවා සෞඛ්‍ය අමාත්‍යාංශය දුන් උපදෙස් අනුව ක්‍රියා කරන්න කියලා. එසේ නොකොළොත්, තවදුරටත් ව්‍යාප්ත වෙන්න ගියොත් ඒ ප්‍රදේශ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා,'' යනුවෙන් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අඟහරුවාදා [16] පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ, විදෙස්ගතව සිට පැමිණි බොහෝ දෙනා විනයක් ඇතිව, සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන බවක් පෙනෙන්නට නැති බවය.
රෝගීන්ගේ විනය ගැන ප්‍රශ්නයක් ඇති අතර විශේෂයෙන් පුත්තලමේ සමහර ප්‍රදේශවල සංචරණය සීමා කරමින්, ඒ ප්‍රදේශවලට ගත යුතු පියවර ගැන කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය සාකච්ඡා කළ බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය අඟහරුවාදා පැවසුවාය.