විල්පත්තුව සහ පාස්කු ප්‍රහාරය: ජනපති ගෝඨාභය වෙත රිෂාඩ්ගෙන් ඉල්ලීමක්

Published
කියවීමේ කාලය: මිනිත්තු 2

විල්පත්තු රක්ෂිතය හෙලි කර මුස්ලිම් ජනතාව පදිංචි කරවූ බවට තමන්ට එරෙහිව එල්ල වන චෝදනාවල සත්‍ය හෙළි කර ගැනීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටී.

තවද පාස්කු ඉරු දින ප්‍රහාරය සිදු කළ "ත්‍රස්තවාදීන්" හා තමන් අතර සබඳතා නොවූ බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇතත් අවශ්‍යනම් නැවත ජනාධිපති කොමිසමක් පත්කර ඒ සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් කරන මෙන් ඔහු ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

"රටේ පිළිගත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන නායකයෙකු වන මා ඉලක්ක කරගනිමින් මා විසින් නොකරන ලද ක්‍රියා සම්බන්ධයෙන් විවිධ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සේම මහජනතාව අතරද පදනම් විරහිත අසත්‍ය චෝදනා ප්‍රචාරය කරමින් පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට හා ජාතිවාදය ඇවිලවීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව මා ඉමහත් කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි," යනුවෙන් ද එම ලිපියේ සඳහන් වේ.

"පදනම් විරහිත චෝදනා නැවත නැවතත් වැරදි ආකාරයකට කරළියට ගෙනවිත් සිදුකරමින් පවතින මඩ ව්‍යාපාරයෙන්," සිය සමාජය අපහසුතාවට පත් වන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් කියා සිටී.

බලය අයථා ලෙස යොදා ගනිමින් විල්පත්තු රක්ෂිතයට අයත් රජයේ ඉඩම් කිසිවක් විනාශ කර නොමැති බව පවසන ඔහු "1990 වසරේ උතුරු ප්‍රදේශයෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාව හට 2009 වසරෙන් පසුව තම ගම්බිම්වල නැවත පදිංචි වීමේ අවස්ථාව උදාවූ අතර මෙම අවස්ථාව උදාකර දීම සඳහා ඔබතුමා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ලබාදුන් සහයෝගය මා ඉතාමත් කෘතඥපූර්වකව මතක් කිරීමට කැමැත්තෙමි," යනුවෙන් සිය ලිපියේ සඳහන් කරයි.

වසර 30 ක පමණ කාලයක් අත්හැර දමා තිබූ ගම්බිම් වල් බිහිවී සුවිසල් වනයක් බවට පත්ව තිබූ බැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම කලාප වන රක්ෂිතයක් වශයෙන් නම් කරන ලද බවත් හිටපු ඇමතිවරයා කියා සිටී.

"නමුත් මෙහි යථාර්ථය අවබෝධ කරගත් එවකට සිටි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් පත්කර එමගින් මෙම ජනතාවගේ ඉඩම් හඳුනාගෙන ක්‍රමානුකූලව ඔවුන්ව නැවත පදිංචි කරවීම සදහා කටයුතු කරන ලදි," යනුවෙන් ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

"කරණු මෙසේ තිබියදීත් දිගින් දිගටම මෙම සිද්ධිය පිළිබදව අසත්‍ය චෝදනා ඉදිරිපත් වෙමින් පවතින බැවින් එම චෝදනා වල සත්‍යතාවය රටට හෙලිකිරීම සඳහාත් අප රටේ වටිනා ස්වභාවික සම්පතක් වූ විල්පත්තු වනෝද්‍යානයට යම් හෙයකින් හෝ හානියක් වී ඇත්නම් ඒ සඳහා වගකිවයුත්තන් කවුරුන්දැයි සොයා බැලීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කර ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නා මෙන්," හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටී.

පාස්කු ඉරු දින ප්‍රහාරයන්ට සම්බන්ධ කණ්ඩායම සමග සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රිෂාඩ් බදියුද්දීන්ට එරෙහිව එවක විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ද කටයුතු කළහ.

පසුව ඔහු ඇතුළු සියලුම මුස්ලිම් අමාත්‍යවරු සිය ධුරවලින් ඉල්ලා අස් වූහ.

සියලුම මුස්ලිම් මැති, ඇමතිවරුන්ට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳව කඩිනම් පරීක්ෂණ පවත්වා තමන් ඇතුළු ඕනෑම පුද්ගලයෙකු එම චෝදනාවලට වැරදිකරු බව තීරණය කෙරෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස් වූ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා එවක පැවසීය.

විල්පත්තුව රක්ෂිතයේ වන විනාශයක් සිදු වන බවට පළමුව චෝදනා එල්ල වූයේ 2015 පෙර පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය.

වනය හෙළි කර සිදු කර අනවසර ඉදි කිරීම් කරන බවට චෝදනා කළ පරිසරවේදීහු එය වැළක්වීමට වහා කටයුතු කරන එවක රජයෙන් ඉල්ලා සිටියහ.

පසුව ජනාධිපති ධුරයට පත් මෛත්‍රිපාල සිරිසේන 2017 වසරේදී කියා සිටියේ විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තුළ කිසිදු පරිසර විනාශයක් සිදුවී නොමැති බවය.

කෙසේ වෙතත් ජාතික වනෝද්‍යාන සීමාවට ඔබ්බෙන් යම් පරිසර විනාශයක් සිදු වී ඇතැයි කී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සඳහන් කළේය.

පුත්තලම, අනුරාධපුරය, මන්නාරම යන ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 03 කට මායිම්ව විල්පත්තුව වන උද්‍යානය පිහිටා තිබෙන අතර මෙය වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ 1938 වසරේදීය.