ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආගමික නායකයන්ගේ රුව, සංකේත මුද්‍රිත භාණ්ඩ අලෙවිය සහ පරිහරණය වරදක් ද?
බුදු මුව මුද්‍රිත සාරියක් ඇඟලා සිටි බවට ලැබුණු පැමිණිල්ලක් මත ත්‍රිකුණාමලයේ පොලිසියට රැගෙන ගිය කාන්තාව, ප්‍රශ්න කිරීම්වලින් පසු නිදහස් කර ඇතැයි පොලිසිය පවසයි.
බීබීසී සිංහල සේවය සිදු කළ විමසුමක දී ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය අංශය කියා සිටියේ, අත්අඩංගුවට ගැනීමක් එහි දී සිදු නොවුණු නමුත් එම කාන්තාව පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කළ බවය.
"ඒ කාන්තාව පොලිසියට අරගෙන ගිහින් ප්‍රශ්න කළා. ඊට පසුව සාරිය මාරු කරළා එයාට වෙනත් ඇඳුමක් අන්දවලා පිටත් කළා. හැබැයි මේ සාරිය මිල දී ගත්ත තැන සහ ඒ සම්බන්ධ වෙනත් දේ ගැන පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වනවා," යනුවෙන් පොලිස් මාධ්‍ය අංශය පැවසීය.
බුදුන්ගේ මුව මුද්‍රිත සාරයක් ඇඟලීම සහ ඊට එරෙහිව පොලිසිය ඉදිරියේදීම භික්ෂුවක් අදාළ කාන්තාවට බැණ වදිමින් තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පළ වීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් අදහස් පළ වන්නට විය.
"බුදු මුහුණ සහිත සාරියක් ඇන්දයි කියළ හාමුදුරු අණට පොලිසිය කාන්තාවක් අල්ලගෙන ගිහින් ත්‍රි'මලයේදී. මේක බුද්ධ මූණ යැයි කියමු. ඒත් කොහේද නීතියක් තියෙන්නේ ඒව අදින්න බෑ කියල. පෝස්ටර්වලට දාන්න පුළුවන් නම් මොකෝ අඳින්න බැරි," ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය 'ට්විටර්' පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
"ලංකාව දැන් 'හාමුදුරු පොලිසියක්' තියෙන බෞද්ධ ඉරානයක්ද? මේ මූණ බුද්ධ මුහුණ කියනේ කවුද? මෙහෙම ගියොත් ඇදුම්වල තිබිය යුතු රූප ගැන හදිසි නීති නියෝග දාන්න වෙයි. මේකද 2015 පොරොන්දු වූ නිදහස? දෙමළ මිනිස්සු කොහොමද බුදු මූණ දන්නේ. මානව හිමිකම් කොමිසම අත්අඩංගුවට ගැනීමට අදාළ මග පෙන්වීම් දෙනවා - පොලිසියට. නමුත් පොලිසිය හාමුදුරු පොලීසියට තමයි ඇහුන්කම් දෙන්නේ. මේක ඉන්න හිතෙන රටක් නොවෙයි, යන්නම හිතෙන රටක්. මේ ගැන ත්‍රිකුණාමල පොලිසියට විරෝධය පාමු," යනුවෙන් එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්විණි.
ෆේස්බුක් පරිශීලකයකු වන සුසන්ත දම්මික අත්තනායක ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ, "මොන ආගමේ වුවත් අන්තවාදි කොටස් සමාජයේ පැවැත්මට ඉතා භයානකයි. මෙය බුද්ධාගම හෝ වෙනත් ආගමක් අදහන අය කියා වෙනසක් නෙමැත" යනුවෙනි.
කෙසේ වුවත් බුදු රුව මුද්‍රිත ඇඳුම් ඇඟලීම අනුමත නොකරමින් ද අදහස් පළ වී ඇත.
"එහෙම එක් ආගමකට අහිත කර ක්‍රියා කරන්න බෑ. ඒවා අඳින්න බෑ කියලා නඩු තීන්දුවක් තියෙනවා. හොයලා බලන්න," යනුවෙන් නිසලි විතානගේ ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම පිළිබඳ ෆේස්බුක් හි සටහනක් තබා තිබිණි.
ආගමික නායකයෙක්ගේ රුවක් හෝ සංඛේතයක් ඇඳුමක තිබීම වරදක් ද?
"එවැනි දෙයක් 'නිගරු' වෙන විදියට භාවිත කර තිබීම දණ්ඩ නීති සංග්‍රහයේ වරදක්. එහි 290 වෙනි වගන්තිවලින් කියවෙන්නේ, යම් පුද්ගලයෙකුගේ හැඟීම් ව්‍යාකූල වෙන ආකාරයට ආගමට අදාළ දෙයක් නිගරු වෙන ලෙස යොදා ගෙන තිබෙන්න බැහැ," යනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් බීබීසී සිංහල සේවයට පැවසීය.
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය
දණ්ඩ නීති සංග්‍රහයේ 290 සහ 291 වගන්තිවල 'ආගමට' එරෙහිව සිදු කරන වැරදි සහ ඒවාට අදාළ දඬුවම් පිළිබඳ සඳහන් වේ.
විවිධ ආගම් සහ විවිධ ඇදහිලි පවතින රටක් වීම හේතුවෙන් එකිනෙකා අතර සුහදත්වය හෝ ජාතික සමඟිය බිඳ වැටෙන ක්‍රියා සිදු කළ නොහැකි බව එම වගන්තිවල දැක්වේ.
ආගම්වලට බාධා කිරීම, ආගමික විශ්වාස හෙළා දැකීම හෝ ගැරහීමට ලක් කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද වගන්තිවලට ඇතුළත්ය. එවැනි ක්‍රියාවක් 'චේතනාන්විතව' සිදු කළ නොහැකි බව 291 වෙනි වගන්තියේ සඳහන් වේ.
එසේ නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති පුද්ගල නිදහස, දණ්ඩ නීති සංග්‍රහයේ 290 හා 291 වගන්තිවලින් යම් දුරකට සීමා වේදැයි ඇතැමෙකුට ප්‍රශ්න කළ හැක.
බුදුන්ගේ රුව මුද්‍රිත ඇඳුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවක් උදාහරණ වශයෙන් දක්වමින් ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් කියා සිටියේ "ජාත්‍යන්තර සමාගමක් වන 'වික්ටෝරියා සීක්‍රට්ස්' සමාගමට එරෙහිව අපි නඩු පැවරුවා. ඔවුන් කාන්තා යට ඇඳුම් සහ නාන ඇඳුම්වලට බුදු රුව යොදාගෙන තිබුණා. අපි ඒවා ලංකාවට ගෙන්වීම තහනම් කර ගත්තා මේ නීතිය යටතේ." යනුවෙනි.
"රේගුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු තීන්දුවක් දුන්නා- මේ ආකාරයේ ඇඳුම් ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කරළා. ඒ වගේම එම තීන්දුවෙන් පොලිසියට දන්වා තිබෙනවා -නිගරු වන විදිහට බුදු පිළිමය ඇඳුම්වල යොදා ගැනීම වැරදියි කියලා," නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ සමග එවකට විදේශ ඇමතිව සිටි ලක්ෂ්මන් කදිරගාමර්, අදාළ නඩු වාර්තාව රැගෙන ගොස් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) සමුළුවක් වෙත ඉදිරිපත් කර තිබිණි.
එම සමුළුවේ පැවැති සාකච්ඡාවලින් අනතුරුව ආගමික නායකයෙක් හෝ සංකේතයක් කිසිදු වෙළෙඳ භාණ්ඩයකට යොදා ගැනීම තහනම් බවට යුනෙස්කෝ සාමාජික රටවල් අතර යෝජනාවක් සම්මත වූ බව නීතිඥවරයා පැවසුවේය.
"එම යෝජනාවට පක්ෂව වැඩි වශයෙන් ඡන්දය ලබා දුන්නේ කතෝලික සහ මුස්ලිම් රටවල්. ඒ අනුව ලෝකයම පිළිගත් දෙයක් තමයි- ආගමික සංකේතයක් වෙළෙඳ භාණ්ඩයකට යොදා ගන්න බැහැ කියන එක. පිළිම විකුණන්න පුළුවන්. නමුත් එය වෙනත් භාණ්ඩවල යොදා ගන්න බැහැ.'
"මෙය ජාත්‍යන්තර චාරිත්‍රානුකූල නීතියක් ලෙස මම දකිනවා"
භික්ෂුවගේ හැසිරීම අනුමත කළ හැකි ද?
"මේක ඇඳගෙන ආවානම් කට වහගෙන හිටපං. ඉන්දියාවෙන් බැරිනම් තූත්තුකුඩියෙන් හරි, ලංකාවේ අඳින්න බැහැ උඹලාට ඕවා. ගෑණියෙක් නිසා මේ නිකන් ඉන්නේ, පිරිමියෙක් වුණා නම් මෙලහකට උස්සලා පොළොවේ ගහලා..," යැයි පවසමින් භික්ෂුවක් බුදුන්ගේ මුව සහිත සාරියක් ඇඟලා සිටි කාන්තාවට බැණ වදිමින් තර්ජනය කරති.
පොලිස් නිලධාරියෙකු ද පසෙකින් සිටගෙන සිටිනු දක්නට හැකිය.
"පිරිමි ශරීරයක් චීවරයක් දා ගත්තට, ඒ පුද්ගලයා බුදු දහම අඹ මල් රේණුවක තරම්වත් දන්නේ නෑ. එහෙම දන්නවනම් කොහෙවත් යන ගැහැණු කෙනෙක් ඇඳගෙන ඉන්න සාරියකට ගැටෙන්නේ නෑ. බුදු දහමට අපහාස කරන්නේ ඒ කාන්තාව නෙමේ, චීවරයක් දාගෙන ඉන්න මේ පුද්ගලයා," යැයි නීතිඥයකු වන දර්ශන කුරුප්පු ෆේස්බුක් ඔස්සේ පවසා තිබිණි.
විවිධ "වාසි" බලාපොරොත්තුවෙන් ඇතැම් පුද්ගලයන් තම ක්‍රමයට සියල්ල හරවා ගැනීමක් දැකිය හැකි අතර, ඔවුන් බුද්ධ දර්ශනයට ද විවිධාකාරයේ අර්ථ නිරූපන ලබා දීමට ක්‍රියා කරන බව නීතිඥවරියක් වන තමාලි තෙන්නකෝන් පැවසීය.
"නමුත් බුදු රාජාණන් වහන්සේ දේශනා කළ නිර්මල බුදු දහම මෙය නොවෙයි." යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ තොරතුරුද කියවන්න:
'සමාන සිදුවීම්'
පසුගිය දා පොල්ගහවෙල ප්‍රදේශයේදී භික්ෂූන් පිරිසක් සිදු කළ පැමිණිල්ලකට අනුව සම්මානලාභී ලේඛකයෙකු වන ශක්තික සත්කුමාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද කෙටි කතාවක අඩංගු කරුණු මහජන කැළඹීමකට හේතු විය හැකි බව ශක්තිකට එරෙහිව එල්ල වූ චෝදනාවය.
ඒ අතර, රහීම් මසාහිනා නමැති කාන්තාවක් ඇඟලා සිටි දිගු ගවුමේ පිටුපස 'ධර්ම චක්‍රයක හැඩයේ' සලකුණක් තිබීම හේතුවෙන් හසලක පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය විසින් එම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත යොදා ගනිමින්ය.
2018 මාර්තු මස දිගන සිදු වූ කලහකාරී සිදුවීමවලින් පසු මහ සොහොන් බලකාය නමැති සංවිධානයේ අමිත් වීරසිංහ සහ තවත් පුද්ගලයන් දිගු කලක් බන්ධනාගාරගත වීම ද මෙම පනත සහ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වීමෙන් සිදු විය.
හදිසි නීති මෙන් ම ICCPR පනත යොදා ගනිමින් යුද ගැටුම් සහ ඇතැම් කලහකාරී අවස්ථා අතරතුර සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජන කොටස්වලට අයත් පිරිස් වරින් වර අත්අඩංගුවට ගනු ලැබ ඇත.
නෙළුම් මලක වැඩ සිටින බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි නයෝමි කෝල්මන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව 2014 වර්ෂයේදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් කටුනායක පොලිසිය අධිකරණයට කියා සිටියේ, එම පච්චය මහ ජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත් අඩංගුවට ගත් බවය.
අත්අඩංගුවට ගත් පසු ඇය මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර, ඉන් ලද නියෝගයක් අනුව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටයුතු කළේය.
නමුත්, මානව හිමිකම් කඩවීම යටතේ ඇය ගොනු කළ නඩුව අවසානයේදී එම බ්‍රිතාන්‍ය කාන්තාවට වන්දි සහ නඩු ගාස්තු වශයෙන් වශයෙන් රුපියල් අට ලක්ෂයක් ගෙවිය යුතු යයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
ඒ වන විට කිහිප වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබූ නයෝමි පැවසුවේ, සැදැහැවත් බෞද්ධයෙකු වන තමා සිය බාහුවේ බුදුරුවක් පච්චා කොටා ගන්නා ලද්දේ "බුදුන් වහන්සේට ඇති ගෞරවය නිසා," යනුවෙනි.
බෞද්ධ දර්ශනය
ජාතිකත්වය සහ බුදු රුව හෝ ධර්ම චක්‍රය මුල් කර ගනිමින් වෙනත් ආගමිකයන්ට චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ.
නීතිය ක්‍රියාත්මක කරන ආයතන තිබියදීත් එවැනි අවස්ථාවල ඇතැම් භික්ෂූන් හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් බෞද්ධ සමාජය තුළින් ම විවේචන එල්ල වේ.
එවැනි හැසිරීම් "බුද්ධ පුත්‍රයන්ට නොහොබින" බව භික්ෂු සමාජය විසින් ම පෙන්වා දුන් අවස්ථා ද ඇත.
බුදුදහමට අනුව දුභාෂිත හෙවත් අයහපත් වචනය කොටස් හතරකට බෙදේ:
- මුසාවාදා
- පිසුනා වාචා
- පරුසා වාචා
- සම්ප්‍රප්පලාපා (බොරු කීම,කේලම් කීම පරුෂ වචන කීම, හිස්වචන කීම )
අසන තැනැත්තාගේ සිත් රිදවන්නා වූ වචනය පරුෂ වචනය වශයෙන් හඳුන්වන්නේ යැයි බෞද්ධ පොතපතේ දැක්වේ.
අංග තුනක් සම්පූර්ණ වීමෙන් එම අකුසලය සිදුවන බව එහි වැඩිදුරටත් දැක්වේ.
- ආක්‍රෝශ කළ යුතු කෙනෙක් සිටිය යුතුයි
- ක්‍රෝධ සහගත සිතක් ඇතිවිය යුතුයි
- අන්‍යයන්ගේ සිත් රිදවන වචන කිව යුතුයි
එමෙන්ම, ආක්‍රෝශ කිරීමේ නැතහොත් නින්දා පරිභව කිරීමේ ආකාර දහයක් පිළිබඳ විනය පිටකයේ පාචිත්තිය පාළියේ සඳහන් වේ.
- ජාතියෙන් අක්‍රෝශ කිරීම
- නාමයෙන් අක්‍රෝශ කිරීම
- ගෝත්‍රයෙන් අක්‍රෝශ කිරීම
- කර්මාන්තයෙන් අක්‍රෝශ කිරීම
- ශිල්පයෙන් අක්‍රෝශ කිරීම
- ආබාධයෙන් අක්‍රෝශ කිරීම
- ලිංගයෙන් අක්‍රෝශ කිරීම
- ක්ලේශයෙන් අක්‍රෝශ කිරීම
- ආපත්තියෙන් අක්‍රෝශ කිරීම
- ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීම