ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හූනන්ට නම් දීම: රාවණාගේ මැඩිල්ලා වැනි විද්‍යාත්මක නම්වලින් අපහාසයක් සිදුවේ ද?
- Author, කුමුදු ජයවර්ධන සහ ෂර්ලි උපුල් කුමාර
- Role, BBC සිංහල සේවය
- Published
විද්‍යාත්මක ද්විත්ව නාමකරණය පිළිබඳව ඉතිහාසයේ කිසිදු අවස්ථාවක වාර්තා නොවූ උනන්දුවක් ශ්‍රී ලාංකික සමාජය තුළ මේ වන විට නිර්මාණය වී තිබේ.
ඒ, අලුතින් සොයා ගන්නා ලද ශ්‍රී ලංකාවට ආවේණික හූනන් 6 දෙනෙකු ශ්‍රී ලංකාවේ අතීත විරුවන්ගේ නම් ආශ්‍රයෙන් විද්‍යාත්මක නාමකරණයට ලක් කිරීමක් සම්බන්ධයෙන් පළවූ වාර්තා හේතුවෙනි.
සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතරින් ඇතැමෙකු මෙම නම් කිරීම නිර්දය ලෙස විවේචනය කර තිබූ අතර ඇතැමෙකු එය සාධාරණීකරණය කරමින් අදහස් පළ කර තිබිණි.
හූනන් හය දෙනාට නම් දුන් සත්ත්ව පර්යේෂකයාගේ අදහස
මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇති මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් විමසීමට අදාළ හූනන් විශේෂ 6 දෙනාට නම් දුන් සත්ත්ව පර්යේෂක සමීර සුරංජන් කරුණාරත්න සම්බන්ධ කර ගත්තෙමු.
ඔහු බීබීසි සිංහල සේවයට පැවසුවේ, මේ වන විට ශ්‍රී ලංකා සමාජයේ මතකයෙන් ඈත්ව ගොස් සිටින අතීත වීරවරයින්ට ගෞරව දැක්වීම සඳහා එසේ නම් යෙදූ බවය.
"මේ සත්තුන්ට විද්‍යාත්මක නම් දෙනකොට සුවිශේෂී පුද්ගලයින්ගේ නම් භාවිත කරන්නේ සමාජයට අමතක වී ඇති පුද්ගලයින් ගැන තියෙන මතකය සදාකාලිකව ආරක්ෂා කරන්නයි. ඒ වගේ සුවිශේෂ පුද්ගලයින්ගේ නම් භාවිත කිරීමෙන් අදාළ ජීවියාත්, ඒ සුවිශේෂී පුද්ගලයාත් ආරක්ෂා වෙනවා. ද්විත්ව නාමකරණය ගැන කිසි ම දෙයක් නොදන්න පිරිසක් තමයි මේක විවේචනය කරන්නේ. ඒක ඒ අයගේ දැනුමේ වපසරිය."
සුවිශේෂී පුද්ගල නාම භාවිත කරන්නේ ඇයි?
"ද්විත්ව නාමකරණයක් සඳහා විද්‍යාත්මක පත්‍රිකාවක් සපයනකොට අදාළ ජීවියාට නම් තැබීමේදී භාවිත කරන විශේෂ පුද්ගලයා ගැන විශේෂ විස්තරයක් සඳහන් කළ යුතුයි. ඔහුට ගෞරව කිරීම සඳහා එම ජීවියා නම් කරන බවත් ඔහුට ගෞරව කරන්නේ ඇයි කියන එකත් ඒ පත්‍රිකාවේ සඳහන් කරනවා. ඒක හරහා අතීතයේ වැළලී ගිය අපේ වීරවරයින් පිළිබඳ තොරතුරු ලෝකය ම දැන ගන්නවා. ඒකයි ඔවුන් වෙනුවෙන් ඒ ජීවීන් නම් කරන්නේ," සත්ත්ව පර්යේෂක සමීර සුරංජන් කරුණාරත්න පැවසීය.
"අපි අවුරුදු ගාණක් කාලය ගත කරලා මහන්සි වෙලා පර්යේෂණ කරලා තමයි මේ ජීවීන් ලෝකයට හඳුන්වා දෙන්නේ. අපි අවුරුදු ගාණක් මහන්සි වෙලා කරපු සේවය එක දවසින් විනාශ කරල දානවා සමහර අය."
"විවේචකයින්ට වැරදුණු තැන"
ද්විත්ව නාමකරණය යටතේ ජීවියෙකු නම් කිරීමේදී ඝන නාමය සහ විශේෂ නාමය යනුවෙන් නම් දෙකක් භාවිත කෙරේ. ඒ අනුව යම් ජීවියෙකුට නමක් දුන් පසු එම ජීවියා අදාළ පුද්ගල නාමයෙන් හැඳින්වීමක් සිදු නොවේ.
එහිදී සිදු වන්නේ, අදාළ පුද්ගලයාගේ ජීවියා ලෙස එම ජීවියා හැඳින්වීමය. උදාහරණයක් ලෙස 'ගෝඨයිබර හූනා' ලෙස හැඳින්වීම වැරදිය. එම ජීවියා නිවැරදිව හැඳින්විය යුත්තේ, ගෝඨයිම්බරගේ හූනා යනුවෙනි. ඒ අනුව, ගෝඨයිබර යෝධයාට අයත් හූනා යනුවෙන් මිස හූනාගේ නම ගෝඨයිම්බර ලෙස හැඳින්වීමක් සිදු නොවේ.
එහෙයින්, අදාළ පුද්ගලයාට අපහාසයක් සිදු නොවන බව සත්ත්ව පර්යේෂක සමීර සුරංජන් කරුණාරත්න පෙන්වා දුන්නේය.
"මේක මාධ්‍යවල පළ කරපු විදිහේ වැරැද්දකුත් තිබුණා. ඒක අල්ලගෙන නිසි විද්‍යාත්මක දැනුමක් නැති පිරිසක් මේකට පහර දෙන්න පටන් ගත්තා. අපි මේ ගැන කනගාටු වෙන්නේ නෑ. අඩු තරමින් මේ විවේචන හරහා සාමාන්‍ය මිනිස්සු ද්විත්ව නාමකරණය කියන්නේ මොකක් ද කියල හොයන්න හරි උත්සහ කරපු එක ගැන සතුටුයි."
සමීර සුරංජන් කරුණාරත්න හඳුන්වා දුන් හූනන් විශේෂ 6:
- ගෝඨයිම්බරගේ හූනා (Cnemaspis gotaimarai) - කොකාගල කැළයකින් හමුවූ ජීවියෙකි.
- නන්දිමිත්‍රගේ හූනා (Cnemaspis nandimithrai) - කුඩුම්බිගල කැළයකින් හමුවූ ජීවියෙකි.
- හිටිහාමිගේ හූනා (Cnemaspis hitihami) - මරගල කැළයකින් හමුවූ ජීවියෙකි.
- කොහුකුඹුරගේ හූනා (Cnemaspis kohukumburai) - කඩුගන්නාව කැළයකින් හමුවූ ජීවියෙකි.
- බූටෑවගේ හූනා (Cnemaspis butewai) - බඹරබොටුව කැළයකින් හමුවූ ජීවියෙකි.
- කිවුලේගෙදරගේ හූනා (Cnemaspis kivulegedarai) - වලපනේ කැළයකින් හමුවූ ජීවියෙකි.
සිද්ධාර්ථ නමිනුත් ජීවීන්
මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ වැඩි ම සංඛ්‍යාවක් ලොවට හඳුන්වා දුන් සත්ත්ව පර්යේෂකයා වන මෙන්ඩිස් වික්‍රමසිංහ ද මේ පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කළේය.
ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, යම් ජීවියෙකු ද්විත්ව නාමකරණය කිරීමේදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් පවතින බවය.
"කිසි ම අපහාස කිරීමක් නෑ ද්විත්ව නාමකරණයේදී. යමෙකුට ගෞරව කිරීම සඳහායි ඒ නම් යොදන්නේ. සිද්ධාර්ථ කුමාරයාගේ නමිනුත් සමනල් විශේෂයක් නම් කරල තියෙනවා. ඒ වගේ ම ලෝකයේ ගෞරවනීය පුද්ගලයින් රැසකගේ නම් ද්විත්ව නාමකරණයේදී භාවිත කරලා තියෙනවා."
රාවණාගේ මැඩිල්ලා (සර්ප විශේෂයකි)
මෙන්ඩිස් වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකාවට ආවේණික ජීවීන් 26ක් ලෝකයට හඳුන්වා දුන් එමෙන් ම තවත් විශේෂ 100කට වැඩි සංඛ්‍යාවක් හඳුන්වා දීමට නියමිතව සිටින පර්යේෂකයෙකි.
"මම මේ වෙනකොට රාවණාගේ මැඩිල්ලා, පුරන් අප්පුගේ ගෙම්බා යන නම්වලින් ජීවීන් නම් කරල තියෙනවා. රාවණා රජු කියන්නේ අපි ගොඩක් ගරු කරන චරිතයක්. මම හඳුන්වා දුන් ජීවියෙක් ඒ චරිතයට අයත් කළේ රාවණා රජුට ගෞරව කරන්න. ඒ වගේ ම රාවණා රජු, පුරන් අප්පු විරුවා වගේ විශේෂ පුද්ගලයින් ලෝකයට හඳුන්වා දීමක් සිද්ධ වෙනවා මේ හරහා. මේ ජීවීන් ගැන උනන්දු වෙන අය ජීවියා නම් කරපු පුද්ගලයා ගැනත් කියවනවා. ඒ වගේ ම යම් කාලයක අදාළ ජීවීන් වඳ වුණත් අර පුද්ගල නාමය ලෝකයේ ලිඛිතව ආරක්ෂා වෙනවා," මෙන්ඩිස් වික්‍රමසිංහ සඳහන් කළේය.
සත්ත්ව විද්‍යාඥයින්ට කිසිදු සත්ත්වයෙකු හොඳ, නරක යනුවෙන් හෝ උසස්, පහත් යනුවෙන් හෝ වර්ග කළ නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.
"ජීවීන් තමයි අපට තියෙන වටිනා ම සම්පත. අපට සතුන්ගේ උසස් හෝ පහත් භේදයක් නෑ. හැම ජීවියෙක් ම අපට වටිනවා. ඒ නිසා අපි යම් ජීවියෙකුට නමක් දෙන්නේ ගරු කළ හැකි පුද්ගලයෙකු සිහි වීම සඳහායි."
ගොනා සිංහලයා
ගොනා සිංහලයා යනු ශ්‍රී ලංකාවට ආවේණික පුරාණ කාලයේ සිටි ගව විශේෂයකට ප්‍රකට සත්ත්ව පර්යේෂකයෙකු වූ පී ඊ පී දැරණියගල දුන් නාමයකි.
ඔහු එම නාමය ලබා දී ඇත්තේ, කෑගල්ල දැරණියගල ප්‍රදේශයෙන් හමුවූ ගව අස්ථියක් සම්බන්ධයෙන් කළ පර්යේෂණවලින් පසුවය. අදාළ අස්ථීය පිළිබඳව පර්යේෂණ සිදු කිරීමේදී එම අස්ථිය ලෝකයේ එතෙක් හමුවී නොතිබූ ගව විශේෂයකට අයත් වූවක් බව අනාවරණය වී තිබිණි.
එම ගව විශේෂය 'ගොනා සිංහලයා' ලෙස නම් කරන ලද්දේ සිංහල ජන වර්ගයට සහ ශ්‍රී ලංකාවට ගෞරව කිරීමක් වශයෙන් බව මෙන්ඩිස් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
"අවිද්‍යාව තරම් විද්‍යාව සමාජගත වෙන්නේ නැහැ"
මෙන්ඩිස් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ, විද්‍යාව සම්බන්ධයෙන් ඇතැමුන් තුළ පවතින අනවබෝධය මෙම විවේචනවලට හේතු වී ඇති බවය.
"අනවබෝධය තමයි මෙතන තියෙන්නේ. මට කියන්න තියෙන්නේ, විද්‍යාව ප්‍රබලයි අවිද්‍යාවට වඩා. ඒත් අවිද්‍යාව තරම් විද්‍යාව සමාජගත වෙන්නේ නෑ. මිනිස්සුන්ගේ අධ්‍යාපනික වපසරිය අනුව තමයි මේවා වටහා ගන්නේ. නොදන්නා කරුණු විවේචනය කරන්න හොඳ නෑ."
ද්විත්ව නාමකරණය යනු කුමක් ද?
ද්විත්ව නාමකරණය යනු විද්‍යාත්මකව ජීවියෙකු හෝ පැළෑටියක් නම් කරන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයයි.
එහිදී ඝන නාමය සහ විශේෂ නාමය යනුවෙන් නම් දෙකක් භාවිත කෙරේ. උදාහරණයක් ලෙස ගතහොත්, බළලාට දී ඇති විද්‍යාත්මක නාමය ෆෙලිස් ඩොමෙස්ටිකා වන අතර ෆෙලිස් යනු ඝන නාමයයි. ඩොමෙස්ටිකා යනු විශේෂ නාමයයි.
ද්විත්ව නාමකරණය සඳහා පුද්ගල නාම ගෞරවය පිණිස යොදා ගැනීමේදී එම පුද්ගලයා පිළිබඳව හැඳින්වීමක් ඉදිරිපත් කෙරේ. කිසිදු ආකාරයකින් යමෙකුට අපහාස කිරීම සඳහා එම නම් භාවිත කිරීම තහනම් වේ.
විද්‍යාත්මක නාම සඳහා ලෝකයේ සුවිශේෂී පුද්ගල නාම භාවිත කිරීම්
ලෝකයේ සත්ත්ව විද්‍යාඥයින් හඳුන්වා දුන් ජීවීන් විශේෂ ද්විත්ව නාමකරණයට ලක්කිරීමේදී සුවිශේෂී පුද්ගල නාම භාවිත කළ අවස්ථා රැසකි.
ඉන් කිහිපයක් පහත දැක්වේ.
- දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ - Aegomorphus wojtylai - පෝලන්තයෙන් හමුවූ කුරුමිණි විශේෂයකි. (ජුවාන් පාවුළු පාප්තුමන්ට ගෞරව පිණිස ඔහුගේ ගිහි නාමය වූ කැරොල් වොජ්ටිලා යන්න භාවිත කර ඇත.)
- කොන්ෆියුසියස් - Mirina confucius - වියට්නාමය, තායිලන්තය සහ චීනය ආශ්‍රිතව දැකිය හැකි සළබ විශේෂයකි.
- දලයි ලාමා - Orontobia dalailama - ටිබෙට් දේශයේ වෙසෙන සළබ විශේෂයකි.
- නෙල්සන් මැන්ඩෙලා - Singafrotypa mandela - මකුළු විශේෂයකි.
- විලියම් ෂේක්ස්පියර් - Goetheana shakespearei - දෙබරුන් විශේෂයකි.
- බීතෝවන් - Gnathia beethoveni - ඉස්සන් විශේෂයකි.
- ආතර් සී. ක්ලාර්ක් - Serendipaceratops arthurcclarkei - ඔස්ට්‍රේලියාවේ විසූ බවට සැලකෙන ඩයිනසෝර් විශේෂයකි.
- බිල් ගේට්ස් - Eristalis gatesi - කොස්ටා රිකා දේශයට ආවේණික මැස්සන් විශේෂයකි.
- බරැක් ඔබාමා - Desmopachria barackobamai - කුරුමිණි විශේෂයකි.
- ඩොනල්ඩ් ට්‍රම්ප් - Neopalpa donaldtrumpi - කැලිෆෝනියාවේ සහ මෙක්සිකෝවෙන් හමුවූ සළබ විශේෂයකි. එම සළබයාගේ පියාපත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිසකෙස් විලාසිතාවට සමාන වන හෙයින් එසේ නම් කළ බව කියවේ.
- ලියනාඩෝ ඩිකැප්‍රියෝ - Grouvellinus leonardodicaprioi - කුරුමිණි විශේෂයකි.
තවදුරටත් කියවන්න.