ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හොරණ අනතුර: "මේ මිනිස්සු තවත් කෙනෙක් බේරගන්න ජීවිතය දුන් උතුම් මිනිස්සු"
පස් දෙනෙකුට මරු කැඳවමින් හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුර නිසි ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට අපොහොසත් වීම නිසා සිදු වූවක් බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂ කර්මාන්ත ශාලා පරීක්ෂකයන් මෙම නිරීක්ෂණය ප්‍රකාශයට පත් කළේ අනතුර සිදු වූ ස්ථානය පරික්ෂා කිරීමෙන් අනතුරුවය.
රබර් කර්මාන්ත ශාලාවේ ඇමෝනියා රසායනිකය අඩංගු වළකට වැටීමෙන් එහි සේවකයන් දෙදෙනෙක් සහ ගම්වාසීන් තිදෙනක් බ්‍රහස්පතින්දා (19) මරණයට පත් වූහ.
"වහපු ටැංකියක වෑල් එකක් අරින්න ගිහින් තමයි මේක වෙලා තියෙන්නේ. මේ වගේ ටැංකියක් අරින්න විශේෂ ක්‍රමයක් තිබෙනවා," යැයි කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂ කර්මාන්ත ශාලා පරීක්ෂක අශෝක මෙන්ඩිස් අනතුරවූ ස්ථානය පරික්ෂා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
සපත්තු නිෂ්පාදන ආයතනයක් වන මෙම රබර් කර්මාන්තශාලාව සිංහල අවුරුද්දෙන් පසු බ්‍රහස්පතින්දා වැඩ ආරම්භ කර ඇති අතර, එහිදී එක් සේවකයෙකු කම්හල් භුමියේ ඇති අපද්‍රව්‍ය ටැංකියක් පිරිසිදු කරමින් සිටියදී කිසියම් විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ටැංකිය තුළට ඇද වැටීමෙන් මරණයට පත්ව තිබේ.
වැටුන පුද්ගලයා බේරා ගැනීම සදහා තවත් හතර දෙනෙකු ටැංකිය තුළට බැස ඇත. එයින් තිදෙනෙකු ගම්වාසින්ය. ටැංකියට බට සේවකයන් එකිනෙකා සිහිසුන්ව වැටෙද්දී සෙසු සේවකයන් මාර්ගයට පැමිණ උදව් ඉල්ලා කෑ ගසා ඇත. ගම්වාසීන් තිදෙනා පැමිණ ඇත්තේ අනතුරට පත් වූ පුද්ගලයන්ට උදව් කිරීමේ අරමුණිනි.
"බේරගන්න, බේරගන්න කියලා, කට්ටියක් කෑගැහුවා. ගිහිල්ල බලනකොට දෙතුන් දෙනෙක් වලකට වැටිලා හිටියා. කඹයක් දාලා ඒ අය ගොඩට ගන්න හදන කොටම මට සිහිය නැතිවුනා. මට සිහිය ආවේ ඉස්පිරිතාලේ දී," හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන ගම්වැසියෙක් මාධ්‍ය වෙත සිද්ධිය විස්තර කරමින් පැවසුවේය.
"මොන විෂ වායුව වුනත්, මිනිහෙක් වලකට වැටිලා මැරෙනවා බලන් ඉන්න පුළුවන්ද, ඒකයි අපි උත්සාහ කළේ ඔවුන්ව බේරගන්න," තවත් ගම්වැසියෙක් පැවසීය.
වලට වැටී ඇති අය එකිනෙකා බේරා ගැනීමට යාමේ දී විෂ වායුව ආඝ්‍රාණය වීමෙන් වල තුලට ඇද වැටී මෙම පුද්ගලයන් පස් දෙනාම මිය ගොස් තිබේ.
"ඇත්තටම මේ මිනිස්සු උතුම් මිනිස්සු, තවත් කෙනෙක් බේරගන්න තම ජීවිතය දුන් අය," යැයි ගම්වැසියෙක් පැවසුවේය.
සිද්ධියෙන් අනතුරුව ගම්වාසීන් මෙම රබර් කර්මාන්ත ශාලාවට එරෙහිව විරෝධතාවයක් පැවැත්වූ අතර, මෙම කර්මාන්ත ශාලාව හේතුවෙන් අවට පරිසරය දැඩි ලෙස දූෂණය වී ඇති බවට ඔවුහු චෝදනා කරති.
"සාම්පල් ගන්න ඉස්සරහ ඇලට යන්න, ඒකෙ තමයි මේ ජරාව ඔක්කොම තියෙන්නේ," විරෝධතාවට සහභාගී වූ ගම්වැසියෙක් චෝදනා කළේය.
තත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ද කර්මාන්තශාලා පරිශ්‍රයට යොදා තිබුණි.
නිසි ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීමේ චෝදනාව මත කර්මාන්ත ශාලාවේ කළමනාකරු බ්‍රහස්පතින්දා පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර කර්මාන්ත ශාලාවේ හිමිකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව පොලිසිය ප්‍රකාශ කළේය.
මෙම සිදුවීමේ දී විෂ වායුව ආඝ්‍රාණය වූ තවත් පුද්ගලයන් 12 දෙනෙකු අද උදෑසන වන විටත් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එයින් එක් අයෙකු අසාධ්‍ය තත්වයේ පසුවෙමින් දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
තවත් ලිපි: