ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පූර්ණ රාජ්‍ය ගෞරවය' සහ 'රාජ්‍ය අනුග්‍රහය' ලබා දෙනවා යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
හෙළයේ නිළි රැජිණ වූ මාලනි ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වීමෙන් පසු අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ලබා දුන් රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධයෙන් මේ වන විට සමාජය දැඩි කතාබහක් පවතී.
රජය විසින් රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා ගේ අවමංගල උත්සවය වෙනුවෙන් පූර්ණ රාජ්‍ය ගෞරවය ලබා දෙන බව පැවසුවද පසුව එය රාජ්‍ය අනුග්‍රහය දක්වා වෙනස් කළ බවත්, මීට හේතුව කවරේද යන්න සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් නිර්මාණය වී ඇත.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ කරුණු සොයා බැලීමයි මේ.
පූර්ණ රාජ්‍ය ගෞරවය ලබාදීමේදී පවතින නිර්ණායක මොනවා ද ?
අවමංගල උත්සවයකට පූර්ණ රාජ්‍ය ගෞරවය සහ රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සම්බන්ධයෙන් පවතින නිර්ණායක මොනවාද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කරුණු සොයා බැලීමක් සිදුකරන ලදී.
එහිදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එන්.එච්. අබේරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසුවේ පූර්ණ රාජ්‍ය ගෞරවය සහ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බවයි.
"චක්‍රලේඛයක් නැහැ ඕකට. සම්ප්‍රදායටනේ ඕක තියෙන්නේ. රටේ අවශ්‍යතාවයට අනුකූලව අමැතිවරයා සහ අනුකමිටුව තමයි මේක සම්බන්ධයෙන් තීරණය ගන්නේ. ජනාධිපතිවරයාගේ සම්බන්ධයක් මේකට නැහැ." අමාත්‍යවරයා පැවසුවේය.
කෙසේ වුව ද අද (මැයි 27) වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පූර්ණ රාජ්‍ය ගෞරවය, රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා වන නිර්ණායකයින් කිහිපයක් පවතින බවයි.
"රාජ්‍ය ගෞරවය, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා වන නිර්ණායකයන් කිහිපයක් පවතිනවා. පූර්ණ රාජ්‍ය ගෞරව, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය, රාජ්‍ය ගෞරව, වෙනත් ආදි ලෙස මෙවැනි අවස්ථාවලදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදය සකස් කරලා තියෙන්නේ."
"ඒ අනුව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා ඒ වගේම රාජ්‍ය ගෞරව සහිතව සිදුකළ යුතු කටයුතුවලදී ලබාදිය යුතුයම් පහසුකම්ද සහිතව. පූර්ණ රාජ්‍ය අනුග්‍රහයකටත් වඩා රාජ්‍ය ගෞරවයකදී ලබාදිය යුතු දේවලුත් ඇතුළත් කරලා තමයි අපි මේ කටයුතු සිදුකළේ." යනුවෙන් ඔහු පැවසුවේය.
පූර්ණ රාජ්‍ය ගෞරවය ලබාදීම යනු කුමක් ද?
අවමංගල උත්සවයකදී පූර්ණ රාජ්‍ය ගෞරවය සහ රාජ්‍ය අනුග්‍රහය ලබාදීම යනු කුමක්ද ? බීබීසී සිංහල සේවය කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
''පූර්ණ රාජ්‍ය ගෞරවය සහ රාජ්‍ය අනුග්‍රහය කියන්නේ කරුණු දෙකක්. රාජ්‍ය අනුග්‍රහය කියන්නේ අවමංගල උත්සවයට වෙනුවෙන් කෙරෙන වියදම් ආදිය ලබාදීමයි. පූර්ණ රාජ්‍ය ගෞරවය කියන්නේ හමුදා උත්තමාචාර යටතේ අවමංගල්‍ය කටයුතු සිදුකරන්නේ.'' අමාත්‍යවරයා පැවසීය.
මේ අතර රජය විසින් මීට පෙර කළාකරුවන් දෙදෙනෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ 'හෙළයේ මහා ගාන්ධර්වයා' ලෙස විරුදාවලිය ලද පණ්ඩිත් අමරදේව වෙත පූර්ණ රාජ්‍ය ගෞරවයන් ලබාදුන් බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියෙකු බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.
"සාමාන්‍යයෙන් පූර්ණ රාජ්‍ය ගෞරවය ලබාදෙනවා කියන්නේ අවමංගල උත්සවයේ සම්පුර්ණ කටයුතු ආරක්ෂක හමුදා ගෞරවය එක්ක සිදුකරනවා කියන එක. එතැනදී ඔයාලා දකිනවා ඇති මියගිය තැනැත්තාගේ දේහය තැම්පත් කරලා තියෙන තැන හතර කොණට වෙන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙක් ඉන්නවා. ඒ වගේම දේහය අවසන් කටයුතු සිදුකරන්න අරන් යන්නේ විශේෂ රථයක තැම්පත් කරලා. ඒ වගේම ආචාර වෙඩි මුර 21ක් ලබා දෙනවා."
"උදාහරණයක් විදිහට ගත්තම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අභාවප්‍රාප්ත වුණාට පස්සේ එතුමාගේ අවමංගල උත්සවය පැවැත්වුණේ පූර්ණ රාජ්‍ය ගෞරවය එක්ක. එතැන දී හමුදා ආචාර වෙඩි මුර පවා ලබා දුන්නා."
'ඒ වගේමයි පණ්ඩිත් අමරදේවගේ අවමංගල උත්සවයත් පූර්ණ රාජ්‍ය ගෞරව එක්ක සිදුකළේ. හැබැයි මෙතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී ආචාර වෙඩි මුර ලබාදුන්නේ නැහැ. පූර්ණ රාජ්‍ය ගෞරවයන් ලබාදීමේදීත් විවිධ වෙනස්කම් වෙන්න පුළුවන්." එම ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියා පැවසීය.