ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වැලිගම මාලිමා සභිකයෙකුගේ නිවසේ ගේට්ටුවට වෙඩි තැබීම: සභිකයා පැවසුවේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට අද (ජූලි 16) වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිලධාරියෙකු සඳහන් කළේ, අද අලුයම යතුරු පැදියකින් පැමිණ ඇති නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව ය.
වෙඩි ප්‍රහාරය මන්ත්‍රීවරයාගේ නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති බව ද පොලීසිය පවසයි.
මන්ත්‍රීවරයාගේ නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් වෙඩික්කරුවන්ට එල්ල කළ වෙඩි ප්‍රහාර මධ්‍යයේ ඔවුන් පළා ගොස් තිබෙන බවත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ හිමිකරු වන මාලිමාවේ සභිකයා කවුද?
පොලීසිය පවසන පරිදි වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සභික නිතීඥ තාරක නානායක්කාරගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.
මෙම සිදුවීමෙන් පසුව මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් මන්ත්‍රීවරයා පළකළේ, මෙවන් අදහසකි.
"උදේ ඇහුණේ පට පට ගාලා සද්දේ. මම එතකොට උඩ තට්ටුවේ කාමරේ නිදාගෙන හිටියේ. දැනටත් පොලිසියේ දෙන්නෙක් ආරක්ෂාවට ඉන්නවා. ආරක්ෂාවට ඉන්න නිලධාරියෙකුට මම ඇමතුමක් ගත්ත ම ඒ නිලධාරියා කිව්වේ 'එළියෙන් ෆයර් එකක් ආවා සර්.. අපිත් ඇටෑක් කළා. අපි කියනකම් එළියට බහින්න එපා, පොඩ්ඩක් පාත්වෙලා ඉන්න කියලා.''
''මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. බබාලා දෙන්නෙක් මාත් එක්ක නිදාගෙන හිටියේ, අනිත් දෙන්නා වයිෆ් එක්ක නිදාගෙන හිටියේ. පොලිසියේ අය කියනකම් අපි ඇතුළට වෙලා හිටියා," ඔහු පැවසුවේ ය.
මීට පෙර වැලිගම ප්‍රාදේශීය සභාවේ සිදුවූ දේ
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඉකුත් ජූනි මස 27 වන දා පැවති අතර ඒ සඳහා සහභාගී වීමට පැමිණෙමින් සිටියදී ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනෙකු පැහැර ගෙන යාමේ සිදුවීමෙන් පසුව ඇති වූ නොසන්සුන්තාවක් හමුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමේ කටයුතු කල් තැබීමට සිදු විය.
පැහැර ගැනීමට ලක්වූ බව කියන ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනා ගාල්ල, උණවටුන මුහුදු තීරයේදී එදින ම සවස නැවත සොයා ගැනීමට හැකි විය.
ඔවුන් දෙදෙනාගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූයේ, නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් තමන් පැහැරගෙන ගිය බව ය.
පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය සභික ධූර 22ක් හිමි කරගෙන තිබූ අතර, සමගි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හිමි කරගෙන තිබූ සභික ධුර සංඛ්‍යාව ද 22ක් විය.