'කටුනායක ගුවන් තොටුපළේදී ඇල්ලූ විශාලතම කුෂ් තොගය' රැගෙන ආ බ්‍රිතාන්‍ය තරුණිය යළිත් රිමාන්ඩ්

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

'කුෂ්' නමැති විෂ මත්ද්‍රව්‍ය කිලෝ 46ක් සමග මෙරටදී අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික චාලට් මේ ලී තරුණිය ජූනි 26 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූනි 13) නියෝගය කළේ ය.

ඒ, අදාළ නඩුව මීගමුව මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න විනිසුරුවරිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී ය.

මෙහිදී මත්ද්‍රව්‍ය ආනයනය කිරීම, ජාවාරම් කිරීම සහ සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ වාර්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබී ය.

එමෙන් ම, අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවත්, එම වාර්තාව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවත් එම කාර්යංශය දැනුම් දුන්නේ ය.

මෙම නඩුව ජූනි මස 26 වන දා නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණිය කටුනායක ගුවන් තොටුපොළේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය ඉකුත් මැයි 12 වන දා අත්අඩංගුවට ගනු ලැබුවේ, කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් ද සමගිනි.

කටුනායක ගුවන් තොටුපොළේ රේගු ඉතිහාසයේ අත්අඩංගුවට ගනු ලැබූ වැඩි ම වටිනාකමකින් යුත් 'කුෂ්' මත්ද්‍රව්‍ය වැටලීම ලෙස එය සැලකෙන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ ය.

ඇය රැගෙන විත් තිබූ ගමන් මලු 2ක් තුළ "කුෂ්" නැමති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක් තිබූ බව රේගු බලධාරීහු පවසති.

ඉකුත් මැයි මස 12 වන දා පස්වරු 3.45ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL- 405 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි මෙම 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණිය රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

මීට පෙර අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

කුෂ් මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් පෙරේරා බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ, සිය සේවාදායිකාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් (මැයි 30) තමන් අධිකරණය හමුවේ විශේෂ ඉල්ලීමක් කළ බව ය.

එමෙන් ම, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල රස පරීක්ෂක වාර්තාවක් කැඳවීම සඳහා එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙසට ද තමන් අධිකරණයෙන් ඉල්ලීමක් කළ බව ඔහු පැවසුවේ ය.

''(මැයි 30) නඩුව කැඳෙව්වා. ඒ අවස්ථාවේදී මගේ සේවාදායිකාව සතුව තිබිලා අත්අඩංගුවට ගත්තා කියන මේ සිද්ධියට අදාළ නඩු භාණ්ඩ විදිහට සැලකෙන මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවලා වාර්තාවක් කැඳවන්න කියලා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.''

''මගේ සේවාදායිකාව අත්අඩංගුවට අරගෙන දවසකට පස්සේ ඩේලි මේල් කියන මාධ්‍ය ආයතනයේ දෙන්නෙක් ගිහින් එයාගේ වීඩියෝ එකක් අරන් තිබුණා. ඒ ගැන මම අධිකරණයෙන් ඉල්ලීමක් කළා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නැවතත් ඒ වගේ දෙයක් වෙන්න ඉඩ දෙන්න එපා කියලා.''

"මගේ සේවදායිකාව දැනට මේ සිද්ධියේ සැකකාරියක් විතර යි. මේ වගේ දෙයකින් වෙන්නේ එයාගේ ආරක්ෂාවට තර්ජනයක් වගේ ම එයාගේ ජීවිතයට ලොකු බලපෑමක් වෙනවා. ඒ වගේ ම එයාගේ පවුලේ අය උපදෙස් දුන්නා මේ සම්බන්ධයෙන් මාධ්‍යයට මුකුත් එයාට කියන්න එපා කියලා," යනුවෙන් නීතිඥ සම්පත් පෙරේරා පැවසීය.

'එහෙම දෙයක් කිව්ව ද කියලා දන්නේ නැහැ'

මේ අතර, තමන් අත්අඩංගුවට ගැනීමෙන් පසු තමන්ට නිදා ගැනීමට නිසි පහසුකම් නොලැබුණු බව මෙම සැකකාර බ්‍රිතාන්‍ය ජාතික තරුණිය ප්‍රකාශ කළ බවට පළවී තිබූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ද බීබීසී සිංහල සේවය නීතිඥ සම්පත් පෙරේරාගෙන් කරුණු විමසීමක් කළේ ය.

එවිට ඔහු ලබා දුන්නේ, මෙවන් පිළිතුරකි.

"එහෙම දෙයක් එයා කියන එක ගැන වීඩියෝ එකේදී මමත් දැක්කා. ඒවා අවස්ථානුගතව වෙන දේවල් නේ. එහෙම රෙකෝඩ් කරලා පළකරපු එක වැරදි යි. ඇත්ත තත්ත්වය එයා ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ. එයාට ඉන්ටර්නෙට් යන්න හැකියාවක් නැහැ. එයා දන්නෙත් නැහැ මෙහෙම වීඩියෝ එකක් පළවෙලා තියෙනවා කියලා."

"මේ නිසා එයාගේ පවුලේ සාමාජිකයින් මට දැනුම් දුන්නා මේ කෙනාට කිසි ම විදිහකින් මාධ්‍යයට අදහස් පළකරන්න දෙන්න එපා කියලා. හැබැයි දැන් එයාට අවශ්‍ය සියලු පහසුකම් ලැබිලා තියෙන්නේ. මමත් මගේ නීතිඥ කණ්ඩායමත් හැම දා ම වගේ රිමාන්ඩ් බන්ධනාගාරයට ගිහින් එයාව බලලා, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හරහා අවශ්‍ය දේවල් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා."

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.