ඔස්ට්‍රේලියාව කැළඹූ සිඩ්නි පිහි ඇනුම: ප්‍රහාරයට ගොදුරුවූවන් කවුද?

    • Author, ටිෆනී ටර්න්බුල්
    • Role, බීබීසී පුවත්, සිඩ්නි
  • Published

සිඩ්නි නුවර පිහිටි ප්‍රසිද්ධ වෙළෙඳ සාප්පු සංකීර්ණයක සිදුවූ පිහි ප්‍රහාරයකින් මිය ගිය හය දෙනා වෙනුවෙන් මේ වන විට උපහාර දැක්වීම් ගලා එමින් තිබේ.

සෙනසුරාදා දිනයේ ජනාකීර්ණ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි මංසන්ධියේ පිහිටි වෙළෙඳ මධ්‍යස්ථානයේදී කාන්තාවන් පස් දෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් ජොයෙල් කවුචිගේ ගොදුරු බවට පත් වූහ. කවුචිව වෙඩි තබා ඝාතනය කිරීමට පෙර ළදරුවෙකු ඇතුළු තවත් කිහිප දෙනෙකු එම ප්‍රහාරයෙන් තුවාල ලබා තිබිණි.

බලධාරීන් පවසා ඇත්තේ, මෙම ප්‍රහාරය බොහෝවිට කවුචිගේ මානසික සෞඛ්‍යය සමග සම්බන්ධ විය හැකි බවත්, ඔහුගේ ඉලක්කය වූයේ කාන්තාවන් බව පෙනී යන බවත් ය.

මේ, ජීවිතක්ෂයට පත්වූවන් ගැන අප දන්නා තොරතුරු පිළිබඳ සටහනකි.

ඩෝන් සිංගල්ටන්, 25

ප්‍රහාරය ආරම්භ වන විට සිඩ්නි නුවර ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ජෝන් සිංගල්ටන්ගේ දියණිය වන ඩෝන් සිංගල්ටන් සිල්ලර වෙළෙඳසලක සේවය කරමින් සිටියා ය.

ඔස්ට්‍රේලියානු ගුවන් විදුලි නිවේදකයෙකු සහ සිංගල්ටන් පවුලේ මිතුරෙකු වන රේ හැඩ්ලි පවසන පරිදි, ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු ඇගේ පියා ඇය මිය ගිය අය අතර සිටි බව දැනගැනීමෙන් පසු අතිශයින් කනස්සල්ලට පත්ව සිටියේ ය.

"මම ඔහුට දුරකතනයෙන් කතා කළා ම ඔහු කිව්වේ: 'මම හිතන්නෙ මැරුණ අය අතරෙ මගේ ඩෝනිත් ඉන්නවා. මට ඒක තහවුරු කර ගන්න ලැබුණෙ නෑ. මොනව හරි කරන්න පුළුවන් ද?'" ඔහු 2GB ගුවන් විදුලිය ඔස්සේ පැවසීය.

හැඩ්ලි ඔහු පොලිසියේ දන්නා කියන පුද්ගලයින්ට ඇමතූ ආකාරය සහ ඩෝන් සිංගල්ටන් - ඉපදුණු දා සිට ඔහු දැන සිටි ඇය - මිය ගිය බව තහවුරු කළ ආකාරය විස්තර කළේ ය.

"මට පැවරිලා තිබුණේ ජෝන්ට නැවත ඇමතුමක් දීලා ඔහුගේ ආදරණීය දියණිය මේ උන්මන්තකයාගේ පිහි ඇනුමකින් මිය ගිය බව නිල වශයෙන් තහවුරු කිරීමේ කාර්යය."

ඇය ඝාතනයට ලක්ව ඇති බව පවුලේ සාමාජිකයින් දැනගෙන ඇත්තේ, පොලිස් නිලධාරියෙකු වන සිංගල්ටන්ගේ පෙම්වතා මධ්‍යස්ථානයේ සිදුවූ ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා රාජකාරියේ නිරත වෙමින් සිටියදී ය.

"ඔහු එතැනට ආවට පස්සේ අනෙක් නිලධාරීනුත් ඒකට මැදිහත් වුණ බව පේනවා," හැඩ්ලි පැවසීය.

ඩෝන් සින්ගල්ටන් සේවය කරමින් සිටි White Fox Boutique නමැති සාප්පුව පැවසුවේ, ඇයගේ වියෝව නිසා ඔවුන් " මුළුමනින්ම කඩා වැටී සිටින" බව ය.

"ඩෝන් සුන්දර, කාරුණික හදවතක් තිබුණ කෙනෙක්. ඇත්තට ම ඇය පුදුමසහගත කෙනෙක්."

ජේඩ් යං, 47

ගෘහ නිර්මාණ ශිල්පිනියක වූ ජේඩ් යං, දෙදරු මවක් විය.

ඇගේ ප්‍රධානියා වූ ජෝර්ජියා විල්සන් පැවසුවේ, ජේඩ් යංග් වසර 12ක් ඇගේ සාප්පුවේ සේවය කර තිබූ අතර එය තමන්ගේ "පවුල" ලෙස සැලකූ බව ය.

"මම මේක ලියනවා කියලා මට විශ්වාස කරන්නත් බෑ, ඒක ඇත්තක් බව දැනෙන්නේ නැහැ," ඇය ඉන්ටග්‍රෑම්හි පළ කර තිබිණි. "ජේඩ්ව හඳුනන ඕනෑ ම කෙනෙක් ඇය මොනතරම් ලස්සන, කරුණාවන්ත සහ උණුසුම් ආත්මයක් ද කියා දැන සිටියා. අපි සම්පූර්ණයෙන් ම කඩා වැටිලා ඉන්නේ."

බ්‍රොන්ටේ සර්ෆ් ජීවිතාරක්ෂක සමාජය පැවසුවේ,‍ ජේඩ් යං සහ ඇගේ පවුලේ අය "බොහෝ ආදරණීය සාමාජිකයන්" සහ දේශීය වෙරළබඩ ප්‍රජාවට උපකාර කළ අය බව ය.

"ජේඩ් අහිමි වීම ක්ලබ් එකේ ගොඩක් සාමාජිකයින්ට බලපාන්න පුළුවන්. මෙම අසංවේදී හා ඛේදජනක සිදුවීමේ බලපෑම කාලයත් සමග අපි එක් එක් කෙනාට වෙනස් විදිහට බලපායි," ජීවිතාරක්ෂක සමාජයේ ප්‍රකාශක බැසිල් ස්කැෆිඩි පැවසීය.

"බ්‍රොන්ටේ සර්ෆ් ජීවිතාරක්ෂක සමාජය වෙනුවෙන්, ඇයගේ පවුලේ සාමාජිකයින්ට අපේ සාතිශය සංවේගය පළ කරනවා."

ඈෂ්ලී ගුඩ්, 38

ඈෂ්ලී ගුඩ් මාරාන්තික තුවාල ලැබුවේ, ඇගේ මාස නවයක් වයසැති දියණිය පිහි ඇනුමෙන් ආරක්ෂා කිරීමට උත්සහ කිරීමේදී ය.

අලුත මව් පදවිය ලැබූ ඇය, තුවාල ලබා සිටි දැරිය ද රැගෙන අසල වෙළෙඳසලකට පලා ගිය ආකාරය සාක්ෂිකරුවන් විස්තර කර තිබූ අතර, තුවාලවලින් ලේ ගැලීම වැළැක්වීම සඳහා ඔවුහු ක්ෂණිකව රාක්කවල තබා තිබූ ඇඳුම්වලින් තුවාල වෙළූහ.

ඈෂ්ලී ගුඩ් රෝහලට පැමිණ ටික වේලාවකින් මිය ගියා ය. ඇයගේ දියණිය ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර මේ වන විට ඇයගේ තත්ත්වය යහපත් අතට හැරී ඇත.

“ලස්සන මවක් , දියණියක්, සහෝදරියක්, සහකාරිනියක්, යෙහෙළියක්, හැම අතින් ම කැපී පෙනෙන මනුෂ්‍යයෙක් වෙච්ච ඈෂ්ලීගේ බිහිසුණු වියෝවෙන් අපි කම්පාවට පත්වෙලා ඉන්නේ,” යනුවෙන් පවුලේ සාමාජිකයින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ "ඈෂ්ලීට බැරිවුණ වෙලේ අපේ දරුවා රැකබලා ගත් අයට ස්තූතියි" යනුවෙනි.

"ආදරයෙන් පිරුණු ජීවිතයක්" සහ "හැමදා දිදුලන" කාන්තාවක ලෙස ඇගේ මිතුරු මිතුරියන් ඇයට උපහාර දක්වා තිබේ.

ඈෂ්ලී ගුඩ් යනු ඔස්ට්‍රේලියාවේ උතුරු මෙල්බර්න් කණ්ඩායමට ක්‍රීඩා කළ හිටපු ඔස්ට්‍රේලියානු පාපන්දු ලීග් ක්‍රීඩකයෙකු වූ කෙරී ගුඩ්ගේ දියණිය යි. ඉරිදා පැවති තරගයක් අතරතුර පාපන්දු ක්‍රීඩා සමාජය ඇය සිහි කිරීම සඳහා කළු අත් පටි පැළඳ සිටි අතර, ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ඇලෙස්ටෙයාර් ක්ලාක්සන් තරගයට පෙර සභාව මතන විට විට කඳුළු සැලීම වැළැක්වීමට දැඩි උත්සහයක නිරත වෙනු දක්නට ලැබිණි.

"ඒක හරි ම ශෝකජනකයි. ඈෂ්ලී සහ එයාගේ ලස්සන පුංචි දියණිය... ඇයට අම්මා කෙනෙක් නැති වෙනවා. ඒක අපේ හදවත් බිඳින කාරණයක්," පුහුණුකරු Fox Sports නාලිකාවට පවසා තිබිණි.

ෆරාස් තාහීර්, 30

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ එක ම පිරිමි පුද්ගලයා වූ ආරක්ෂක නියාමක ෆරාස් තාහීර් මිය ගියේ, අනෙක් පුද්ගලයින් ආරක්ෂා කිරීමට උත්සහ කිරීමේදී ය.

ඔහුගේ ප්‍රජාවේ සාමාජිකයින්ට අනුව ඔහු පකිස්ථානයේ සිට ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතා පැමිණ ඇත්තේ, වසරකට පමණ පෙර ය. ඔහුගේ මිතුරන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ඔහු එම වෙළෙඳ මධ්‍යස්ථානයේ සේවය කර ඇත්තේ සතියක කාලයක් පමණක් බව ය

නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියාවේ අහමදියා මුස්ලිම් ප්‍රජාව පැවසුවේ, ඔහු "අපගේ ප්‍රජාවේ පූර්ණ සාමාජිකයෙකු වන අතර, ඔහු නොසැලෙන කැපවීම සහ කරුණාව සඳහා ප්‍රසිද්ධියක් උසුලන," බව ය.

පකිස්ථාන ඔස්ට්‍රේලියානු සංගමයේ සභාපතිවරයා වන නීතිඥ ඉජාස් ඛාන් පැවසුවේ, ප්‍රාදේශීය පකිස්ථාන ප්‍රජාව "ශෝකයෙන් වැලපෙන අතර...ඉතා දුක්ඛිතව" පසු වන බව ය.

"ඔහු සුන්දර තරුණයෙක්, ඕන ම වෙලාවක ඔහු අන් අයට උපකාර කරන කෙනෙක්, ඔස්ට්‍රේලියාවේ හොඳ අනාගතයක් ගොඩනගා ගන්න ඔහු ගොඩක් මහන්සි වෙලා වැඩ කළා, ඒ වගේ ම ඉගෙන ගත්තා," ඔහු ඔස්ට්‍රේලියානු ගුවන් විදුලි සේවයට පැවසීය.

ඔස්ට්‍රේලියාවේ පකිස්ථාන මහ කොමසාරිස් සහීඩ් හෆීස් චෞද්‍රි පැවසුවේ, තහීර් "අන් අය ආරක්ෂා කිරීමට උත්සහ දරද්දී ඔහුගේ ජීවිතය අහිමි කර ගත්" බව ය. එමෙන් ම, ඔහු ප්‍රකාශ කළේ, ඔහුගේ මෘත දේහය පකිස්ථානයට එවන ලෙසට ඔහුගේ පවුලේ සාමාජිකයින් ඉල්ලීමක් කර ඇති බව ය.

පික්‍රියා ඩාර්ෂියා, 55

පික්‍රියා ඩාර්ෂියා ද මම ප්‍රහාරයෙන් මිය ගිය අයෙතු ලෙස පොලිසිය නම් කර තිබේ. LinkedIn සමාජ මාධ්‍ය ජාලයේ ඇය තමන් චිත්‍ර ශිල්පිනියක ලෙස හඳුන්වා ඇති අතර, ඇය ජොරිජියාවේ බිලිසි ප්‍රදේශයේ පදිංචිකාරියක බව වාර්තා වේ.

ඇය පිළිබඳව මෙතෙක් වාර්තා වී ඇත්තේ, තොරතුරු ස්වල්පයකි.

චෙං යික්ෂුවාන්, 25

අවසන් වින්දිතයා ලෙස හඳුනාගෙන ඇති චෙං යික්ෂුවාන්, සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි චීන ශිෂ්‍යාවකි.

ප්‍රහාරය එල්ල වීමට මිනිත්තු කිහිපයකට පෙර ඇය වෙළෙඳ මධ්‍යස්ථානයේ සිට ඔවුන්ට කතා කළ බව ඇගේ පවුලේ අය පැවසීමෙන් පසු, සෙනසුරාදා සිට ඇය සොයා ගැනීමට උත්සහ කරන පුද්ගලයින් සමග චීන සමාජ මාධ්‍ය අතිශය ක්‍රියාශීලී විය.

ඔස්ට්‍රේලියා ටුඩේ නමැති චීන භාෂාවෙන් ක්‍රියාත්මක යෙදුම හරහා වැන්ග් ලෙස පමණක් හැඳින්වුණු ඇගේ පෙම්වතා පැවසුවේ: "ඇය සාප්පු සංකීර්ණයේදී ඇඳුම් කිහිපයක් ගැලපෙනවා ද කියලා බලන්න මට ඇඳලත් පෙන්නුවා," යනුවෙනි.

"මම දවස පුරා එයාව සම්බන්ධ කර ගන්න උත්සහ කළා. ඒත් කිසි ම ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. මුළු පවුල ම කොයිතරම් කනස්සල්ලට පත්වෙලා හිටියද කියනවා නම්, ඔවුන් ඒ ගැන වැඩිය හිතන්නවත් එඩිතර වුණේ නැහැ."

සිසුන් වෙත යවන ලද ඊමේල් පණිවුඩයකින් සිඩ්නි විශ්වවිද්‍යාලයේ උපකුලපති මාර්ක් ස්කොට්, ශිෂ්‍යාවක - ඔහු නම හෙළි කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි - මිය ගොස් ඇති බව තහවුරු කළ අතර, "අසංවේදී ජීවිත අහිමි වීම ගැන තමන් කම්පනයට හා කනගාටුවට පත් වූ," බව පැවසීය.

සිඩ්නි නුවර චීනයේ වැඩබලන කොන්සල් ජනරාල් වැං චන්ෂෙං පැවසුවේ, චෙංගේ මරණය පිළිබඳව "අසා අතිශයින් ශෝකයට පත්වූ," බව ය.