ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ඉගෙනීමේ අයිතියට හරස් වන පහසුකම් හිඟය
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පවතින විශේෂ අවශ්‍යතා සහිත සිසුන් අධ්‍යාපනය ලබන අධ්‍යාපන ඒකකවල ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම වසර ගණනාවක් තිස්සේ එම අධ්‍යාපන ඒකකවල ඉගෙනුම ලබන සිසුන් සහ ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන් මුහුණ දුන් ගැටලුවකි.
ග්‍රාමීය සහ නාගරික වෙනසකින් තොරව ප්‍රමාණවත් සහ පිරිසිදු වැසිකිළි පහසුකම් මෙන් ම ජල සැපයුම ද නොමැති වීම මෙරට පාසල් පද්ධතිය පොදුවේ මුහුණ දී ඇති ගැටලුවක් වී තිබේ. ඒ අනුව බැලු කළ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා අවශ්‍ය ප්‍රමිතියට මෙම පහසුකම් සපයා නොතිබීම පුදුමයක් නොවේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සහ චක්‍රලේඛ ද මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යංශය හරහා නිකුත් කර ඇතත්, ඒවා බොහෝ පාසල්වල ක්‍රියාත්මක වී ඇති බවක් නොපෙනෙයි.
ආසන්න දිනකදී එවැනි විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුගේ මවක් ඇය සහ ඇයගේ හත් හැවිරිදි දරුවා පාසලේ සනීපාරක්ෂක ගැටලු හේතුවෙන් දිගින් දිගට ම මුහුණ දුන් අමිහිරි අත්දැකීම් සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ දීර්ඝ විස්තරයක් සඳහන් කර තිබූ අතර, එයට සෘජුව ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ප්‍රතිචාර දක්වමින් කියා තිබුණේ, අදාළ පාසලේ වැසිකිළි පහසුකම් සම්බන්ධ ගැටලුවට වහා ම විසඳුමක් ලබා දෙන බව යි.
මේ වන විට අධ්‍යාපන බලධාරීන් විසින් එම පාසල වෙත පැමිණ ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව ද ඇය පසුව සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණි.
ශ්‍රී ලංකාව තුළ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙතත් රජයේ පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකක විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටින බව බීබීසී සිංහල සිදු කළ වැඩිදුර විස්තර සොයා බැලීමේදී අනාවරණය විය.
ශ්‍රී ලංකාවේ පාසල්වල සනීපාරක්ෂාව
ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය මුහුණ දෙන සනීපාරක්ෂාව පිළිබඳ ගැටලු, මේ ලිපිය කියවන ඔබට පවා පෞද්ගලික අත්දැකීම් තිබිය හැකි තරමට ම සුලබ ගැටලුවකි.
මා පළමුව පාසල් අධ්‍යාපනය ලැබූ පාසලේ මුළු සිසුන් සංඛ්‍යාව 350ක් වූ නමුත් ඒ වන විට එම පාසලේ පැවතියේ ගුරුවරුන්ට එක් වැසිකිළියක් සහ සිසු සිසුවියන්ට වැසිකිළි 3ක් පමණි.
ඒවායේ ජල සැපයුම සහ පිරිසිදු බව සම්බන්ධයෙන් නිරන්තරයෙන් ප්‍රශ්න තිබූ හෙයින් එවකට කුඩා දරුවෙකු වූ මා පුරුදුව සිටියේ පාසලේදී වැසිකිළියට නොයාමට ය.
මා ඉන්පසුව අධ්‍යාපනය ලැබූ පාසලේ සිසුන් 6,000ක් පමණ ඉගෙනුම ලැබූ අතර, එතරම් සිසුන් ප්‍රමාණයකට ප්‍රමාණවත් සහ පිරිසිදු වැසිකිළි පහසුමක් එම පාසලේ ද නොතිබිණි.
කෙසේ නමුත් මාසික ඔසප් වීම සිදුවන දිනවලදී අකමැත්තෙන් වුවත් එම වැසිකිළි භාවිත කිරීමට සිදුවූයේ පිරිසිදු බව සහ ජල පහසුමක් සම්බන්ධයෙන් වූ දුෂ්කරතා ද දරාගනිමින් ය.
විශේෂ ම කරුණක් වූයේ එම පාසලේ විශේෂ අධ්‍යාපන ඒකකයක් ද පැවතීම ය.
එම ඒකකය ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය වූවක් ද නොවී ය. එම කුඩා කාමරය විවිධ කාලවල විවිධ අවශ්‍යතා සඳහා යොදා ගැනුණු අතර, කලක් පාසලේ ශිෂ්‍ය නායක කාර්යාලය ලෙස ද පැවති පරිශ්‍රයකි.
එම සිසුන්ට භාවිත කිරීම සඳහා විශේෂ වැසිකිළි පහසුකමක් ද ඒ ආසන්නයේ නොතිබිණි.
මා පාසල් අධ්‍යාපනය ලබා වසර ගණනාවක් මේ වන විට ගත වී ඇතත්, තවමත් බොහෝ සිසුන් සහ ගුරුවරුන් මුහුණ දෙන ගැටලු මීට වඩා වෙනස් නොවේ.
අප සමග අදහස් දැක්වූ කොළඹ ප්‍රධාන පෙළේ, පිරිමි පාසලක ගුරුවරයෙකු පැවසුවේ එම පාසලේ පවා සිසුන්ට හා ගුරුවරුන්ට ප්‍රමාණවත් පරිදි වැසිකිළි පහසුකම් නොමැති බව යි.
වැසිකිළි පද්ධතියේ අපිරිසිදු භාවය, ඒවා ඉදි කර ඇති ස්ථාන වැනි ගැටලු හේතුවෙන් මේ වන විට එම වැසිකිළි ආශ්‍රිතව සිසුන් විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදී ගුරුවරුන්ට හසුවූ අවස්ථා ද පවතින බව එම ගුරුවරයා පැවසුවේ ය.
ඔහු පෙන්වා දුන්නේ එම පාසලේ පවතින වැසිකිළි කිසිදු දරුවෙකුට භාවිත කිරීමට තරම් හොඳ පිරිසිදු තත්ත්වයේ නොමැති බව යි.
නිසි ප්‍රමිතිය කුමක් ද?
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථා ගණනාවකදී ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙමින් චක්‍රලේඛ නිකුත් කර තිබේ.
2024 වසර ආරම්භයේදී ද පාසල් යටිතල පහසුකම් සහ පාරිසරික සැකැස්ම පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ සංග්‍රහයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
ඒ වන විටත් මේ සමබන්ධයෙන් පැවති අතිවිශේෂ ගැසට් නිවේදනවලට අතිරේක වශයෙන් එහි විධිවිධාන බලපැවැත්වෙන බව එහි සඳහන් ය.
ඒ අනුව, පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය සහ පාසල් පරිසරය සැකසීමේදී මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ද චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
එහි, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පන්ති කාමර සැකසීම සහ වැසිකිළි පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්රමිතීන් ගණනාවක් පෙන්වා දෙයි.
බුද්ධිමය හෝ වර්ධන දුබලතාවයන් සහිත සිසුන්ට ඔවුන්ගේ ස්වභාවය අනුව වැසිකිළිය නිතර භාවිත කිරීමට අවශ්‍ය විය හැකි බවත් අතුරු අබාධ හේතුවෙන් හෝ මනෝවිද්‍යාත්මක ගැටලු හේතුවෙන් නිතර මුත්‍රා කිරීමෙන් පීඩා විඳින සිසුන් ද සිටිය හැකි නිසා එවැනි සිසුන්ට වැසිකිළියට යාම අත්‍යවශ්‍ය කරුණක් ලෙස මෙම මාර්ගෝපදේශයේ පෙන්වා දී තිබේ.
එමෙන් ම වැසිකිළිය අපිරිසිදු සහ අඳුරු ස්ථානයක් වුවහොත් සිසුන් එයට යාමෙන් වැළකී සිටීම ඔවුන්ට සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි නිසා වැසිකිළි සෞඛ්යාරක්ෂිත සහ පිරිසිදුව සහ සුවපහසු ස්ථානයක් ලෙස තබා ගත යුතු යැයි එහි සඳහන් ය.
විශේෂයෙන් ම වැසිකිළි ඉදි කිරීමේදී අනුගමනය කළ යුතු පියවර එහි මෙලෙස සඳහන් කර තිබේ.
ඇතැම් සිසුන්ට වැසිකිළි යාමේදී සහයක් අවශ්‍ය විය හැකි නිසා ආධාරකරු හෝ භාරකරුගේ පහසුවට වැසිකිළියේ ප්‍රමාණවත් ඉඩක් තිබිය යුතු ය.
එවැනි වැසිකිළි ඉදි කිරීමේදී ප්‍රවේශ වීමට පහසු ආකාරයට, ප්‍රවේශ වීමට පහසු මාර්ගයක ඉදි කළ යුතු ය.
එමෙන් ම කොමඩ් වර්ගයේ වැසිකිළි බඳුනක් සවි කිරීමටත්, සිට ගැනීමට සහ වාඩි වීමට උපකාර කිරීමට වැසිකිළි බඳුනේ දෙපස අත්වැටවල් සවි කිරීම ද මෙහි පෙන්වා ද ඇති තවත් කරුණකි.
මුළු ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ප්‍රමාණවත් වැසිකිළි ඉදි කිරීම, ප්‍රමාණවත් ඉඩ සහ ආලෝකයක් ලබා දීම මෙන් ම, සිසුන්ට තමාව සෝදා ගැනීමට හැකි නාන කාමරයක් හෝ ඇඳුම් මාරු කිරීමට ආවරණය කරන ලද ඉඩ ප්‍රමාණයක් ප්‍රයෝජනවත් බව ද මෙම මාර්ගෝපදේශයේ පෙන්වා දෙයි.
'ගුරුවරුන් සහ පහසුකම් ප්‍රමාණවත් නෑ'
ශ්‍රී ලංකාවේ 10,000කට අධික රජයේ පාසල් අතරින් විශේෂ අධ්‍යාපන ඒකක පවතින්නේ 879ක් පමණි.
වර්තමානය වන විට එම ඒකකවල ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 7,433ක් පමණ වේ.
දැනට විශේෂ අධ්‍යාපන ඒකකවල උගන්වන මුළු ගුරුවරුන් සංඛ්‍යාව 1,456කි.
ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා ම ක්‍රියාත්මක වන පාසල් ද 27ක් පවතින අතර, ඒවායේ සිසුහු 1879ක් පමණ ඉගෙනුම ලබති.
කෙසේවෙතත් මේවායේ ගුරු පුරප්පාඩු ද පවතින බව බීබීසී සිංහල වෙත පැහැදිලි විය.
මේ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා විසින් යොමු කළ පාර්ලිමේන්තු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පැවසූයේ 2025 ඔක්තෝබර් මාසය වන විට ජාතික පාසල්වල පුරප්පාඩු 17ක් ද, පළාත් පාසල්වල පුරප්පාඩු 308ක් ද, විශේෂ පාසල්වල පුරප්පාඩු 49ක් ද පවතින බව ය.
එම ප්‍රශ්නයට ලබා දුන් පිළිතුරු අනුව, ඒ වන විට විශේෂ අධ්‍යාපන ගුරු පත්වීම් ලැබ වෙනත් විෂයයන් උගන්වන ගුරුවරුන් සංඛ්‍යාව 108ක් බව ද පැහැදිලි වේ.
විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට ඉගැන්වීමේ කටයුතු සිදු කරන ගුරුවරියක සහ සෙවණැලි ගුරුවරියක ලෙස කටයුතු කරන සකුන්තලා විජේසිරි බීබීසී සිංහල වෙත පැවසුවේ වැසිකිළි පහසුකම් පමණක් නොව වර්තමානයේ මෙවැනි ඒකකවල පවතින බොහෝ පහසුකම් ප්‍රමාණවත් නොවන බව ය.
"ගොඩක් ඔටිසම් තත්ත්වය තියෙන බබාලා වැසිකිළියට යද්දී සෑහෙන්න හිතනවා පිරිසිදුකම ගැන, වෙන අය ඉන්නවද කියලා බලනවා. කළුවරයි නම්, ගඳයි නම් එයාලා යන්න කැමැති නෑ. ඒ විතරක් නෙවෙයි සමහර බබාලා වැසිකිළියේ ගාලා තියෙන තීන්තවල පාටටත් අකමැති නිසා යන්න බෑ කියන අවස්ථා තියෙනවා," ඇය විස්තර කළා ය.
"සාමාන්‍යයෙන් ඩවුන් සින්ඩ්‍රෝම් බබාලාට එහෙම අපට පුළුවන් වැසිකිළි යන විදිහ කියලා දීලා යවන්න. ඒත් සමහර බබාලාට අපේ උදව් අවශ්‍ය වෙනවා."
කෙසේවෙතත් මෙම ගුරුවරිය පෙන්වා දෙන්නේ එවැනි අවස්ථාවක විශේෂ අධ්‍යාපන ඒකකයක එක් ගුරුවරියක් පමණක් සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බව ය.
"එක එක බබාලට තියෙන්නේ එක එක විදිහේ තත්ත්ව. එතකොට එයාලා එක්ක වෙන වෙන ම වැඩ කරන්න ඕනේ. ඉන්න බබාලා ගානත් එක්ක එක ගුරුවරියක් ප්‍රමාණවත් වෙන්නේ නෑ මේ වගේ යුනිට් එකකට. සමහර අය ටිකක් අවේගශීලි යි. එතකොට ඒ වගේ බබෙක් බලද්දී තව එක්කෙනෙක් දුවන්න හැදුවොත් එහෙම, නැත්නම් වැසිකිළි එක්කන් යන්න වුණොත්... ඒ නිසා ඒ වගේ අවස්ථාවක එක ගුරුවරියක් මදි," සකුන්තලා විස්තර කළා ය.
තව ද ඇය පවසන්නේ තවමත් පාසල්වල පවතින ඉගෙනුම් ආධාරක වැනි දෑ ලෝකයේ වෙනත් රටවල්වලට සාපේක්ෂව පහළ මට්ටමක පවතින බව යි. එමෙන් ම පන්ති කාමර බොහෝ දුරට එවැනි දරුවන් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කර නොමැති වීම ද ඇය පෙන්වා දෙන තවත් කරුණකි.
"වෙන රටවල්වල වගේ අපේ රටේ හොඳ ඉගෙනුම් ආධාරක නෑ. ගොඩක් වෙලාවට තියෙන්නේ ඒ අදාළ ඒකකයේ ගුරුවරිය ම හදාගත්ත පොඩි පොඩි දේවල්. අපි අධ්‍යාපනය ලබා දෙනවා කියන්නේ එයලාටත් ලෝකයත් එක්ක ඉස්සරහට යන්න අවස්ථාවක් හදලා දෙනවා කියන එකනේ. එතකොට මම හිතන්නේ තාම ලංකාවේ තියෙන ඉගෙනුම් ආධාරක සහ ඉගැන්වීමේ ක්‍රම එහෙම අප්ඩේට් මදි."
බලධාරීන් පවසන්නේ කුමක්ද?
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සම්බන්ධ කරගැනීමට අපට හැකි වූ අතර, මේ වන විට සාකච්ඡාවට බඳුන්වී ඇති සමාජ මාධ්‍ය සටහන යෙදූ මවගේ දරුවා ඉගෙනුම ලබන පාසලට විසඳුම් ලබා දීමෙන් ඔබ්බට ගොස් සමස්ත පාසල් පද්ධතියේ ම පවතින මෙම ගැටලු විසඳීමට ගන්නා පියවර කුමක්දැයි බීබීසී සිංහල ඔහුගෙන් විමසීය.
"මේ ප්රශ්නය විශේෂ පාසල් විතරක් නෙවෙයි සියලු පාසල්වල තියෙන ගැටලුවක්. ලංකාවේ පාසල්වල වැසිකිළි පද්ධතිවල ගැටලුවක් තියෙනවනේ, ඒකට හේතුව වැසිකිළි පහසුකම් නැති එක නෙවෙයි, වැසිකිළි පද්ධති නඩත්තු කිරීමේ අපහසුවක් තියෙනවා," අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ ය.
"ඉතින් මේක විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට කියලා ගත්තම ඒක තවත් විශේෂ වෙනවා. ඒක ක්ෂණිකව එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ අනුකාරක සභාවක් තියෙනවා යටිතල පහසුකම් සම්බන්ධව, මේ ප්රශ්නය ඒකෙත් අවධානයට යොමුවෙලා තියෙන එකක්. ඒ අනුව අපි සංඛ්‍යාත්මකව වෙනස්කම් සිදු කරනවා. නමුත් ප්රශ්නය තියෙන්නේ අපි කොච්චර වැසිකිළි හදලා දුන්නත් පාසල් පද්ධතියට ඒවා නඩත්තු කරගන්න බැරි වෙලා තියෙනවා. විශේෂ අධ්‍යාපන ඒකකවලට 100%ක් ම මේ පහසුකම් තියෙනවද කියලා මට කියන්න බෑ. එහෙම සංඛ්‍යාලේඛනයක් මගේ අතේ නෑ. නමුත් මේ කියන ප්රශ්නය අපි හඳුනාගෙන තියෙන්නේ," අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ ය.
එමෙන් ම අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා 2025 ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවේදී පවසා තිබුණේ විශේෂ අධ්‍යාපන ඒකක සඳහා යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා වෙනස්කම් සිදු කිරීමට ද බලාපොරොත්තු වන බව ය.
කෙසේවෙතත් මෙම ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර කුමක්දැ යි වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා බීබීසී සිංහල විසින් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළ නමුත් ඔහුව සම්බන්ධ කරගැනීමට නොහැකි විය.